පහුගිය ආණ්ඩුව විසින් හිස්කළ භාණ්ඩාගාරය ජාතික ජන බලවේගය විසින් බාරගෙන එය සම්පූර්ණයෙන්ම පුරවා තිබියදී හැකර්වරයකු හරහා යම්කිසි ගෙවීමක් සිදු වුවද එය මහ බැංකු වංචාවට සංසන්දය නොකරන ලෙස තමන් විපක්ෂයට දැනුම් දෙන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
“විපක්ෂය භාණ්ඩාගාරය සුද්ද කිරීම කරලානෙ අපට රට බාරදුන්නෙ. මොකද ඒගොල්ලො භාණ්ඩාගාරය සුද්ද කරලා විතරක් නෙවෙයි භාණ්ඩාගාරය හිස් කළා සුද්ද කරලා. ඒ හිස් භාණ්ඩාගාරය අපි බාර අරගෙන පුරවලා තියෙන වෙලාවක සිදුවෙච්ච සිදුවීමක් පිළිබඳව තමයි මේ සංවාදය, කතිකාව තියෙන්නෙ. ඒ නිසා මේක කිසිසේත් මහ බැංකු බැඳුම්කර වංචාවට එහෙම හිලව් කරන්න ලෑස්ති වෙන්න එපා කියලා විපක්ෂයට කියන්න ඕනෙ.
මොකද ඒක ඩේ ලයිට් රොබරියක්. හැබැයි මේ සිදුවෙච්ච ක්‍රියාවලිය ඇතුළේ හැකර්ස්ලා හරහා ඩොලර් මිලියන 2.5ක මූල්‍ය ගනුදෙනුවක් එහෙම නැත්නම් ගෙවීමක් සිදුවෙලා තියෙනවා කියන කාරණය දැන් පැහැදිලි වෙලා තියෙනවා. ඒ පිළිබඳව භාණ්ඩාගාරය ඇතුළේ පරීක්ෂණ යනවා. ඊට වගකිවයුතු නිලධාරීන්ට අදාළ විනය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒකට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග වුණත් ගන්න අවශ්‍ය කටයුතු දැන් සිද්ධ කරලා තියෙනවා. ඒ සඳහා ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා මුදල් ඇමතිවරයා හැටියට.
ඒ නිසා මේ සිදුවීම් විය හැකි සහ වෙලා තියෙන දෙයක්. ඒ පිළිබඳව පරීක්ෂණ යනවා, පරීක්ෂණයෙන් පසුව වැරදිකරුවන්ට – එය දැනුම්වත්ද නොදැනුම්වත්ද කියන කාරණයෙන් එහා ගියපු – නිසි දඬුවම් ලබාදෙන්න අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. කිසිවෙක් ගලවන්න, බේරන්න, ආරක්ෂා කරන්නෙ නෑ හරියට බැඳුම්කරය වගේ. මොකද බැඳුම්කරේට සම්බන්ධ ප්‍රධාන චූදිතයෙක් වෙච්ච අර්ජුන මහේන්ද්‍රන් මඟුල් ගෙදරකට යැව්ව රනිල් තමයි ලෝකෙ දිගම මඟුල් ගෙදරට ගිහිල්ලා තියෙන්නෙ. දැන් වැඩේ තියෙන්නෙ බැඳපු ජෝඩුවට ළමයිත් හම්බවෙලා, අර්ජුන මහේන්ද්‍රන් තවම ලංකාවට ඇවිල්ලා නැහැ.”
ඇමති වසන්ත සමරසිංහ මේ බව පැවසුවේ ඊයේ (26) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.