භික්ෂූන් වහන්සේලා සමග සාම පා ගමනෙහි යෙදෙන ආලෝක නම් බල්ලාට බෞද්ධ කාන්තාවක් නමස්කාර ආකාරය දැක්වෙන අයුරින් ඡායාරූපයක් ගෙන එය ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියෙකු වන අනුරුද්ධ ලොකුහපුආරච්චි බවට ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය චෝදනා කරයි.
“සාම පා ගමනේදී බෞද්ධ බැතිමතියක් අර ආලෝකා කියන බල්ලාට වැඳගෙන ඉන්න ඡායාරූපයක් මේ දවස්වල ප්‍රචාරය වෙනවනේ. මේ ෆොටෝ එක අරගෙන ඊට පස්සේ ඒක ප්‍රචාරය කරලා තියෙන්නේ අනුරුද්ධ ලොකුහපුආරච්චි කියලා දැනගන්න ලැබුණා. ඒක එහෙමනම් ඒක ඉතාමත්ම කනගාටුවට කරුණක්.
අනුරුද්ධ ලොකු හපුආරච්ච කියන්නේ ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියෙක්. එහෙම තියෙත්දි ඇත්තටම මේ කාන්තාව ඒ බල්ලට වැන්දත් ඒ ඡායාරූපය ප්‍රචාරය නොකර සිටීමේ වගකීමක් ඔහුට තියෙනවා. මොකද ඔහු ජනාධිපතිවරයාව නරක විදියට පෙනෙන කිසිම ඡායාරූපයක් කිසිසේත්ම එළියට දෙන්නේ නැහැනේ. ඔහු හැම තිස්සෙම ජනාධිපතිවරයා හොඳට ලස්සනට පිළිවෙලට ඉන්න ඡායාරූප විතරයි එළියට දාන්නේ. මම කියන්නේ ඔහු විතරක් නෙමෙයි. ඕනෑම ජනාධිපති මාධ්‍ය අංශයේ කෙනෙක් එහෙම තමයි වැඩ කරන්නේ. ඉතින් ඡායාරූප දහස් ගණනක් අරගෙන එයින් දෙක තුනක් විතරයි බොහෝ විට මාධ්‍යයට දාන්නේ.
නමුත් මෙතැන වෙලා තියෙන්නේ ඊට වෙනස් දෙයක්. මේ ඡායාරූපය කිසිදු සැකයකින් තොරව ලංකාවේ සාමාන්‍ය බෞද්ධ බැතිමතුන්ව විහිළුවට ලක්වෙන අන්දමේ ඡායාරූපයක්. ඉතින් එහෙම ඡායාරූපයක් දානවා කියලා කියන්නේ එක්කෝ බරපතළ නොසැලකිල්ලක්, එහෙම නැතිනම් යටි අදහසක් සහිතව කරන දෙයක්. හරි නම් මෙතනටත් අදාල විය යුතුව තිබුණේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මේ අය වැඩ කරන පිළිවෙලයි. ඒ වගකීම මෙතනටත් තිබිය යුතුයි. නමුත් මෙතන වෙලා තියෙන්නේ ඊට සහමුලින් අනෙක් පැත්ත.
ඒ අතර සුප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන ඉන්ද්‍රනාථ තේනුවර Indranatha Thenuwara ඊට වඩා භයානක හෙළිදරව් කිරීමක් කරනවා. ඔහු සිය තාක්ෂණික දැනුම පාවිච්චි කරමින් කියන කතාව කෙටියෙන් කිව්වොත් මේ කාන්තාව එක දිගටම භික්ෂූන් වහන්සේලාට වැඳගෙන ඉන්න ක්‍රියාදාමය ඉදිරියට යද්දී හරියටම බල්ලා එතනට එන අවස්ථාව ඡායාරූපයට නගලා ඒක කාන්තාව බල්ලාට වඳිනවා කියන අර්ථය එන විදිහට ක්‍රොප් කරලා තියෙනවා කියන එක තමයි ඔහු කියන්නේ. ඒක එහෙමනම් මේක ඉතාමත්ම වැරදි දෙයක්. මේක ආණ්ඩුවටත් හොඳ නෑ. වර්තමානයේ දී අනුරුද්ධ ලොකුහපුආරච්චි කියලා කියන්නේ සාමාන්‍ය ඡායාරූප ශිල්පියෙක් විතරක් නොවන නිසා මේ ඡායාරූපය මගින් පෙනෙන්නේ ආණ්ඩුව ලංකාවේ බෞද්ධයන්ව දකින්න කැමති විදිය එහෙම නැතිනම් ලංකාවේ බෞද්ධයන්ම ලෝකෙට පෙන්නන්න කැමති විදිය කියලා කවුරුහරි හිතුවොත් ඒකට බනින්න බෑ.
අනුරුද්ධ ලොකු හපුආරච්චි කියන්නේ මම කැමති මනුස්සයෙක්. අපි පාසල් යන කාලයේ අපි කරපු ප්‍රදර්ශනයකට කිසිම ලෝභයක් නැතිව ඔහුගේ වටිනා ඡායාරූප ගණනාවක් අපිට නිකන්ම දුන්නා. ඒ කාලේ ඔහු රොයිටර් ඡායාරූප ශිල්පියා. ඔහු අපිට කරපු ඒ උදව්ව ගැන මගේ කෘතඥතාව කවදක් තියෙනවා. නමුත් ලංකාවේ ඉන්න සාමාන්‍ය සිංහල බෞද්ධ මිනිහෙක් විදියට මට මේ වැඩේදි වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව නිසා තමයි මේක ලියන්නේ.
ඊට අමතරව ඔහු තමන්ගේ ඡායාරූප ජීවිතයේ තමන් රැකගන්න ප්‍රමිතිය ගැන කියලා තිබුණු කතාවක් මගේ මතකයේ තියෙනවා. මගේ මතකයේ හැටියට ජේ.ඕ. සී බෝම්බය (?) පිපුරුණු සැණින් ඔහු එතැනට ගොස් තිබුණා. එතකොට ඔහු දැකලා තිබුණා. ශරීරය ගිනි ගනිමින් තිබුණු මිනිහෙක් ඉස්සරහට දුවගෙන එනව. ඔහු ඒ ෆොටෝ එක අරගත්තේ නැහැ කියලා කියලා තිබුණා. ඒක ගත්ත නම් ඡායාරූප ශිල්පියෙක් විදිහට ඔහුට ඒක ඉතාමත්ම වටිනා ඡායාරූපයක්. නමුත් ඔහු ඒක ගත්තේ නැහැලු. හේතුව ඡායාරූප ශිල්පියා අභිබවා මනුස්සයා ඉස්සරහට ආවා කියන එක තමයි ඔහු කියලා තිබුණේ. ගිනි ගනිමින් මැරෙන මිනිහෙක්ව තමන්ගේ වෘත්තිය සඳහා මෙවලමක් විදිහට පාවිච්චි කරන්න තිබුණු අකමැත්ත ගැන තමයි ඔහු කියලා තිබුණේ.
රටක පොදු ජනයාගේ සංස්කෘතිය කියලා කියන්නෙත් මනුෂ්‍යයාගේ භෞතික ශරීරය වගේම වැදගත් දෙයක්. ඒ ගැන සාධාරණ විවේචනය කිරීමේ අයිතිය අපි කාටත් තිබුණත්, ඒක යම් වගකීමකින් යුතුව ඉටු කළ යුතුයි කියන එක තමයි මගේ පෞද්ගලික මමතය. මෙතනදී ඒ වගකීම ඔහු අතින් ඉටුවෙලා නැහැ. මේ සම්පූර්ණ සාම පා ගමන විහිළුවට ලක් කිරීමක් මෙතැන සිද්ධ වෙනවා. මේ ඡායාරූපය කොයි තරම් වයිරල් වුනත්, ඒකට උපහාස ප්‍රතිචාරා දස දහස් ගණන් ලැබුණත් ඡායාරූප ශිල්පියෙකු සතු විය යුතු, විශේෂයෙන්ම ජනාධිපති මාධ්‍ය අංශයේ බලධාරියා සතුවිය යුතු වගකීම් සහගත භාවය එතන තිබුණාද කියන එක බරපතළ ප්‍රශ්නයක්.”