මාස අටක් තිස්සේ රටේ විගණකාධිපති කෙනෙක් නෑ… එතනටත් ආණ්ඩුවේ ගජයෙක් රිංගවන කූට සැලසුමක්… මෙහෙම ආණ්ඩුවකට කුණාටුවකට තියා වැස්සකටවත් මූණ දෙන්න බෑ…! – වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ…

December 5, 2025 at 11:25 am | by emanisa.lk

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති කපිල පෙරේරා නිකුත් කළ නිවේදනයක් පහත දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

විගණකාධිපති පත් කිරීමේ අර්බුදය: රාජ්‍ය වගවීම අසමත් වීමක් සහ ව්‍යවස්ථා උල්ලංඝනයක්
මාස 8ක් පුරා විගනකාධිපතිවරයෙකු පත් කිරීමට අසමත් වීම වත්මන් රජය සිය වගකීම් සම්පූර්ණ කිරීමට අසමත් වීමේ තවත් සාක්ෂියකි.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුවම විගණකාධිපතිවරයා යනු රාජ්‍ය යාන්ත්‍රණයේ මූලික පුරුකකි. රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය විගණනය ශක්තිමත් විය යුතුමය.

ද්විත්වා සුළි කුණාටුව පිළිබඳව පුරෝකථනයේ සිට උද්ගත තත්වයන්ට මුහුණ දීමේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් ව ක්‍රියාත්මක නොවන බව පසක් වේ. අත්‍යවශ්‍ය වූ වගවීමද රාජ්‍ය නායකත්වයේ සිට පහළට නොපෙන්වීමද අවාසනාවන්ත තත්වයකි. විපක්ෂයේ සිට අවලාද තබන පාර්ශ්වයන්ද මීට වසර 20කට පළමුව සුනාමි ව්‍යසනය ද අනතුරුව පාස්කු ප්‍රහාරය සහ කොරෝනා වසංගතයේදී ඉහත කාර්යන් අඩුවැඩි වශයෙන් ඉටු කිරීමට අසමත් වූ පාර්ශ්වයන් වේ.

නව රජය පත් කර ගැනීමේ මූලික ජනතා අභිලාෂයන් අතර ශක්තිමත් මෙන්ම දූෂණයෙන් තොර රාජ්‍ය යාන්ත්‍රණයක් බිහිකොට ගැනීම එක්වන්නේ පෙර රජයන් ඊට අසමත් වූ හෙයිනි.
එහෙත් වත්මන් ජනපතිවරයා ඇතුළු රජය ඒ සඳහා ප්‍රමාණවත් තරම් උත්සාහයක් දරන ස්වභාවයක් නොපෙනේ.

පසුගිය අප්‍රියෙල් 8වනදා හිටපු විගණකාධිපති විශ්‍රාම ගැනීමෙන් අනතුරුව,
09/04/2025: දින 14කට වැඩබලන විගණකාධිපතිවරයෙකු පත් කරයි.
23/04/2025: දින 30කට නැවත වැඩබලන විගණකාධිපතිවරයා පත් කරයි.
24/05/2025: මාස 6කට නැවත වැඩබලන විගණකාධිපතිවරයා පත් කරයි.
23/11/2025: තවත් දින 14කට වැඩබලන විගණකාධිපතිවරයා පත් කරයි.

මෙලෙස මාස අටකට අධික කාලයක් ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් නොකර, වරින් වර කෙටි වැඩබලන පත්වීම් නිකුත් කිරීම, ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරයේ ස්වාධීනත්වය හිතාමතාම අඩාල කරමින්, එම තනතුර සිය විධායක බලය යටතට ගැනීමට කරන ලද උත්සාහයක් ලෙස අපි තරයේ හෙළා දකිමු. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය පිළිබඳ විධිවිධාන මෙලෙස උල්ලංඝනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ මූලික පදනම් කඩ කිරීමක් වනු ඇත.

මෙලෙස වරින් වර විගණකාධිපතිවරයෙකු ස්ථිර ලෙස පත් කිරීමට අසමත් වීමට හේතුව කුමක් වුවත්, ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බිහිකොට මූලික ජනතා අභිලාෂයන් ඉටු කිරීම ඔවුන්ගේ වගකීමක් ලෙස නොසලකන බැව් පැහැදිලිය.

අට මසක් පුරාවට මෙලෙස විගණකාධිපතිවරයෙකු පත් නොකරන්නේ, වත්මන් ව්‍යවස්ථාදායක සභාව තනතුරට සුදුස්සෙක් ලෙස අනුමත නොකරන පුද්ගලයෙක් පත් කිරීමට බලා සිටින බව බොහෝ දෙනෙකුගේ මතයයි. කෙසේ වෙතත්, දිගින් දිගට මෙලෙස එකම වැඩබලන විගණකාධිපතිවරයෙකු පත් කිරීමෙන් පෙන්වන්නේ ඔහු සුදුස්සා වුවත් ඔහුව මඟ හැරීමට හැකි පළමු අවස්ථාව එළඹෙන තෙක් මාන බලන බැව් සැක කිරීම සාධාරණ වේ. එනම් මොවුහුද නව දේශපාලන සංස්කෘතියක් නොව පරණ ජරාජීර්ණ ක්‍රමවේදයන්ම පිළිපදින බව පැහැදිලිය. ඔවුනට නම් කිරීමට වෙනත් සුදුස්සෙක් නොමැති බව මෙහි සඟවා ඇති අනෙක් සත්‍යයි.

මෙවන් වාතාවරණයක් තුළ සුළි කුණාටුවකට නොව මෝසම් වැස්සකට වත් මුහුණ දිය හැකි වගවීම සහිත රජයක් බිහිවේ යැයි සිතීම අපහසුව තිබේ. එහෙත් මෙම වැරදි නිවැරදි කොට, වත්මන් විගණකාධිපතිවරයා ස්ථිර ලෙස පත්කොට ඉදිරියට කටයුතු කරනු ඇතැයි, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ලෙස අප විශ්වාසයෙන් සිටිමු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *