දූෂණ චෝදනා 11කට වැරදිකරු…! කුරුණෑගල නගරාධිපති නෙරපයි…! වසර 05ක් මැතිවරණත් තහනම්..!

May 10, 2023 at 8:51 am | by emanisa.lk

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණට එරෙහිව පවත්වනු ලැබූ ඒක පුද්ගල පරීක්‍ෂණ කොමිසමකදී නගරාධිපතිවරයාට එල්ල වූ දූෂණ චෝදනා 18 කින් චෝදනා එකොළහකට වැරදිකරු බව තීරණය කර තිබේ.

ඒ අනුව ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නගරාධිපතිවරයා එම ධුරයෙන් සහ සභික ධුරයෙන්ද පහකළ අයකු සේ සැලකිය යුතු බවට දැනුම් දෙමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම තත්ත්වය තුළ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට පවතින රෙගුලාසි ප්‍රකාරව තවත් වසර පහක කාලයක් මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව ද අහිමි වනු ඇත. කුරුණෑගල නගරාධිපතිවරයාගේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු අනුව වසර එකහමාරක පමණ කාලයක සිට විගණකාධිපතිවරයා විසින් පරීෂණයක් පවත්වාගෙන ගිය අතර මීට මාස පහකට පමණ ඉහත දී නගරාධිපතිවරයාගේ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් වූ නිරීක්‍ෂණයන්ද සහිතව විගණන වාර්තා හතළිහක් පමණ විගණකාධිපතිවරයා විසින් වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත යොමු කරනු ලැබිණි.

එම විගණන වාර්තා අනුව නගරාධිපතිවරයා සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල හා පංච පුද්ගල ආදි වශයෙන් පත් කරන ලද පරීක්‍ෂණ මණ්ඩල සිදු කරනු ලැබූ පරීක්‍ෂණවල දී ඔහු පළාත් පාලන පනතට අනුව වැරදි සිදුකර තිබෙන බව නිරීක්‍ෂණය වී තිබිණි.

ඒ අනුව පාලන පනතේ යම් යම් වගන්ති ප්‍රකාරව තමන්ට පැවරී ඇති බලතල යටතේ කුරුණෑගල නගරාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයකුගෙන් යුත් අදාළ ඒක පුද්ගල පරීක්‍ෂණ කොමිසම පත් කරනු ලැබීය.

එහිදී ඉඩම් අවභාවිතය, මුදල් අවභාවිතය ආදී වශයෙන් කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහිව බරපතළ දූෂණ චෝදනා දහ අටක් එල්ල වී තිබුණු අතර ඔහු වරදකරු බවට පරීක්‍ෂණ කොමිසම මගින් තීරණය කර ඇත්තේ එම චෝදනා අතරින් එකොළහකට ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස