2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට ශ්රි ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී තිබේ.
අද (20) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවති ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්රගති සමාලෝචන රැස්වීමේ දී මේ බව අනාවරණය විය.
එමෙන්ම, 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය ආයෝජන ඩොලර් මිලියන 21කින්ද, අපනයන ආදායම ඩොලර් මිලයන 176කින්ද වර්ධනය වී ඇති බවත්, 2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්රී ලංකාවට ඩොලර් මිලියන 4669ක ආයෝජන යෝජනා ලබා ගැනීමට හැකි වී තිබෙන බවත්, අයෝජන මණ්ඩලයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.
මෙරටට ආයෝජන කැඳවා ගැනීමේදී මුහුණ දෙන ගැටලු, අභියෝග සහ ඊට ගත හැකි විසඳුම් පිළිබඳවද මෙම රැස්වීමේදී අවධානය යොමු කර තිබේ.