සිලෝන් තේ නාමයට හෙනහුරා ලබයි…. තේ කම්හල් 225ක් වැසෙයි….!

May 26, 2025 at 10:33 am | by emanisa.lk

මේ දක්වා ලංකාවේ තේ කර්මාන්‍තශාලා දෙසීය විසිපහක් වැසීගොස් ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පොළ පවසයි.

ඇල්පිටිය රෑකඩහේන තේ කර්මාන්තශාලා පරිශ්‍රයේ පැවති ගාලු දල්ලෙන් රටට ගැම්මක්, පිවිතුරු තේ දලු ක්‍රියාන්විතය නමින් ගාලු දිසාවේ කුඩා තේ වතු හිමියන් දැනුම්වත් කිරීම නිමිත්තෙන් පැවති වැඩමුළුවක් අමතා හෙතෙම මේ බව අනාවරණය කළේය.

මේ වැඩමුළුව සදහා එවර්ග්‍රීන් තේ කර්මාන්තශලා සමූහයේ අධ්‍යක්ෂක දුෂර ගීගනගේ, සාමාන්‍යාධිකාරී බී.ඩබ්ලිව්.ටී.නදීශන, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රෝහිත වෛද්‍යරත්න, එම අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු ඉන්දික මොහොට්ටි, ලංකා තේ මණ්ඩලයේ සහකාර කොමසාරිස් එල්.කේ. අජිත්, ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනයේ ප්‍රදීප් අල්විස් යන මහත්වරුන්ද සහභාගී වූහ.

මෙසේ තේ කර්මාන්තශාලා වැසෙන්න ප්‍රධානතම හේතුව වී ඇත්තේ තේ දලු හිඟය බව ද එහිදී තව දුරටත් අදහස් දැක්වූ නිමල් උඩුගම්පොළ මහතා කීය.

තේ දළු අස්වැන්න අඩුවීමත් එන තේ දල්ලේ ගුණාත්මක භාවය අඩුවීමත් තේ දළු හිගයට බලපා ඇති අනෙක් සාධකයන් බවද ඒ මහතා කීවේය.

පවතින මේ තේ දළු හිගය නිසා තේ කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට පත්වී ඇති බවත් මේ ආකාරයට අපේ රටේ තේ කර්මාන්තයට ඉදිරියට යන්නට දෙන්න බැරි බවත් නිමල් උඩුගම්පොළ මහතා කීය.

2030 වසරේ නිමි තේ කිලෝග්‍රෑම් දසලක්ෂ හතලික් නිෂ්පාදනය කළ යුතු බවට ඉලක්කයක් දී ඇති බවත් වසර 157ක් වන ශ්‍රී ලංකා තේ කර්මාන්ත ඉතිහාසය තුළ මේසා විශාල තේ නිෂ්පාදනයක් මෙරට කර නැති බවත් මෙතෙක් මේ රටේ වැඩිම නිමි තේ නිෂ්පාදනය කර ඇත්තේ 2013 වසරේදී බවත් එය නිමි තේ කිලෝග්‍රෑම් දසලක්ෂ තිස් හතරක් පමණක් බවත් නිමල් මහතා එහිදී කීවේය.

මේ වනවිට මෙරටේ තේ කර්මාන්තශාලා දෙසීය විසිපහක් වැසී ඇතැයි කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පොල මහතාගේ ප්‍රකාශය පිළීබදව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ කොමසාරිස් මහේෂ් ජයවර්ධන මහතාගෙන් විමසූවිට මෙසේ කීවේය.

සාමාන්‍යයෙන් වසරකට තේ කර්මාන්තශාලා විස්සක් විසිපහක් වැසී එම සංඛ්‍යාව හෝ ඒ හා සාමනව අලුතින් තේ කර්මාන්ත ශාලා ආරම්භ කරනවා.එමෙන්ම තේ කර්මාන්තශාලාවල පාලනය මාරු වෙන අවස්ථාද තිබෙනවා. තේ කර්මාන්තශාලා දෙසීය විසිපහක් වැසී ඇති බව මා දන්නේ නැහැ.මමත් මේ පිළිබදව සොයා බලන බවද එහිදී තේ කොමසාරිස් මහේෂ් ජයවර්ධන මහතා වැඩි දුරටත් කීවේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට දැරූ උත්සාහයන් වැලකී ගියේය.

මේ සම්බන්ධයෙන් දිවයිනේ නමක්ගත් තේ කර්මාන්තශාලා හිමියන් කිහිපදෙනෙකුගෙන් අප කළ විමසීමකදී ඒ අය කීවේ මේ වනවිට තේ කර්මාන්තශාලා රැසක් වැසී ඇති බව සත්‍යක් බවත් එහි නිශ්චිත සංඛ්‍යාව තමන් නොදන්නා බවත් තේ දලු හිගය වගේම ඒ ඒ තේ කර්මාන්තශාලාවල පැවති දුර්වල කළමණාකාරීත්වය එයට හේතුව බවත්ය.

ADA

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *