ආණ්ඩුව ඒකීය ව්‍යවස්ථාවක් ගෙනාවොත් දේශපාලනයෙන් සමු ගන්නවා…! – ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්…

February 2, 2025 at 10:13 am | by emanisa.lk

වත්මන් රජය විසින් සිදු කරන බව කියන ව්‍යවස්ථා සංශෝධනයේ දී ඒකීය බව කියැවෙන ව්‍යවස්ථාවක් සම්මත වුවහොත් තමන් දේශපාලනයෙන් සමු ගන්නා බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පවසයි.

ඔහු මේ බව පැවසුවේ දෙමළ දේශපාලනඥයින් කීපදෙනකු සමග පසුගිය 29 වෙනිදා යාපනයේදී පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන්ට අදහස් දක්වමිනි.

මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ඒකීයභාවයට පමණක් තැනක් දෙන නව ව්‍යවස්ථාවක් සම්මත වුවහොත් දෙමළ දේශපාලනඥයකු වශයෙන් දෙමළ ජාතිකවාදය හෝ දෙමළ අයිතිවාසිකම් ගැන තමන් තවදුරටත් පෙනී සිටීමෙන් කිසිදු පලක් නොමැති බවයි.

මේ නිසා මේ රට තුළ එවැනි ව්‍යවස්ථාවක් නිර්මාණය වුවහොත් තවදුරටත් දේශපාලනයේ නිරත වීමෙන් පලක් නැති නිසා තමන් දේශපාලන කටයුතුවලින් ඉවත් වන බව ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවද හෙතෙම කියා සිටියේය.

තමන් සමග උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ මන්ත්‍රීවරුන් 19දෙනකු සිටින බව පැවසූ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා ඒ අතරින් මන්ත්‍රීවරුන් දසදෙනකුම දෙමළ ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින නිසා ඔවුන් ද මේ තීරණයම ගන්නා බව පෙනෙන්නට ඇතැයි සඳහන් කළේය.

මේ අවස්ථාවේ කිසිදු දෙමළ දේශපාලන පක්ෂයක් රට බෙදීමක් ඉල්ලා නොසිටින බව කී මන්ත්‍රීවරයා බලය බෙදා හැරීම තුළින් දෙමළ ජනයාගේ අයිතිවාසිකම් ළඟා කොට දිය හැකි බවද කියා සිටියේය. ඊට අවශ්‍ය වන්නේ ඒකීය ක්‍රමයක් පදනම් කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොව බහු ජාතිකත්වයට මුල්තැන දෙන ව්‍යවස්ථාවක් බව ද හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *