කතානායක අශෝක රන්වල සිය උපාධිය පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජයට ඉදිරිපත් කර ඇත්නම් ඔහු වහා ම එම ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
අශෝක රන්වල සමාජයට ප්‍රකාශ කර ඇත්තේ අසත්‍ය නම් ඔහු බොරු කීමේ වරද පමණක් නොව බොරු කියා සමාජයේ කැපී පෙනෙන තනතුරක් ලබා ගැනීමට ද කටයුතු කර ඇති බවයි, ආචාර්ය දේවසිරි ප්‍රකාශ කළේ.
ආණ්ඩුව හිස් ආවරණ පා ආවරණ සහ කිසිදු අංගාරක්ෂක උපාංගයක් නොමැතිව ප්‍රබල වේග පන්දු යවන්නන් ඉදිරියේ පන්දුවට පහර දෙමින් සිටින බව අවබෝධ කරගත යුතු යැයි ද නිර්මාල් දේවසිරි අවධාරණය කරයි.
“රන්වල පරීක්ෂාව!!!
==========
ආණ්ඩුව තමන් ජනතාවට දුන් පොරොන්දුව සම්බන්ධයෙන් බැරෑරුම්ව සිතන්නේ නම් කතානායක අසෝක රන්වල ගේ උපාධි පිළිබද තත්වය තමන්ම සොයා බලා ඔහු ඒ සම්බන්ධව වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබේනම් එක්කෝ අස්වන්නැයි බල කළ යුතුය. නැත්නම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. රන්වල මෙහි දී වරදක් කර තිබේනම් එහි වැරදි දෙකක් ඇත. එකක් නැති උපාධි තිබේ යැයි ජනතාවට ප්‍රකාශ කිරීමයි. අනෙක මෙවැනි කාලයක මෙවැනි දේ සම්බන්ධව ප්‍රසිද්ධියේ බොරු කියා, ඒ බොරු සගවාගෙන මෙවැනි කැපී පෙනෙන තනතුරක් දැරීමට හැකි යැයි කල්පනා කිරීමයි. දෙවැනි වරද පළමු වරදට වඩා බරපතල වේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දැනගත යුත්තේ තමන් හිස් ආවරණ, පා අවරණ හා අනෙකුත් ශරීර අවයව සදහා වූ ආවරණ නොමැතිව ප්‍රබල වේග පන්දු යවන්නන් ඉදිරියේ පන්දුවට පහරදෙන ක්‍රිකට් පිතිකරු බලකායක් මෙන් බවයි.”