මෙවර මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ඊයේ (11) රාත්‍රියේ වව්නියාව පට්ටානිචූර් ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජනහමුවක් අතරතුරදී දෙපාර්ශවයේ ආධාරකරුවන් අතර ඇති වූ ගැටීමකදී දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.
මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු ඊයේ රාත්‍රියෙන් අවසන් වූ අතර කාදර් මස්ථාන් මහතාගේ සහ රිෂාඩ් බදියුදීන් මහතාගේ අවසන් ජනහමු දෙකක් වව්නියාව පට්ටානිචූර් ප්‍රදේශයේ සංවිධානය කොට තිබේ.
එහිදී කාදර් මස්ථාන් මහතාගේ ජනහමුවක් අතරතුරදී එම ස්ථානය අසලින් රිෂාඩ් බදියුදීන් මහතාගේ මැතිවරණ ප්රචාරක රථ පෙලපාලියක් ගමන්කළ අවස්ථාවේදී මෙම ගැටුම ඇති වී තිබේ.
එහිදී කාදර් මස්ථාන් මහතාගේ ජනරැලිය ආසන්නයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගේ රථ පෙලපාලිය ගමන් කිරීමත් සමග අධාරකරුවන් අතර බහින් බස්වීමක් ඇතිව පසුව එය දුරදිග ගොස් පහරදීමක් දක්වා වර්ධනය වී ඇති අතර රථ පෙළපාලියේ රිෂාඩ් බදියුදීන් මහතා ගමන්ගත් රථයට සහ ආධාරකරුවන්ගේ රථවලට ද පහර දීමෙන් දැඩි හානි සිදුව ඇතයි වාර්තා වේ.
මෙම පහරදීමෙන් ආධාරකරුවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කර ඇති අතර ගැටුම පැවති ස්ථානයට පැමිණි වව්නියාව පොලීසිය විසින් තත්වය පලනය කිරීමට පියවර ගෙන තිබේ.