මහ මැතිවරණ ගැසට්ටුවේ අවුලක්… ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සමක්… ගැසට්ටුව අකුළන්න වන ලකුණු..?

October 21, 2024 at 8:47 pm | by emanisa.lk

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ කැඳවුම්කරු වන එච්.එම්. ප්‍රියන්ත හේරත් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව නාම යෝජනා කැඳවීමට ඔක්තෝබර් මස 04 වනදා සිට ඔක්තෝබර් මස 11 වන දා දක්වා දින නියම කළ බවයි.

මැතිවරණ පනත ප්‍රකාරව නාම යෝජනා භාර ගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බවත් පෙත්සමෙන් පෙන්වා දෙයි.

ඒ අනුව නාම යෝජනා භාර ගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වනදා සිට සති පහක කාලය නොවැම්බර් මස 15 වනදා අවසන් වන අතර සති හතක කාලය නොවැම්බර් මස 29 වනදා සම්පූර්ණ වන බවත් පෙත්සමේ සඳහන් කරයි.

එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියම කර තිබෙන නොවැම්බර් මස 14 වනදා එම නීතිමය කාලසීමාවට ඇතුලත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.‍ෙ

මේ තුළින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වීමක් සිදුවන බවත් මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *