තවත් චෝදනා කර කර ඉන්න එපා… හොරු අල්ලන්න…! – සාගර…

October 1, 2024 at 9:08 am | by emanisa.lk

පසුගිය කාලය පුරාම රාජපක්ෂවරුන් රටේ සම්පත් සොරා කෑ බවට කළ චෝදනා පිළිබඳ පරීක්ෂණ පවත්වා වරදකරුවන් නීතිය හමුවට ගේනවා වෙනුවට තව දුරටත් මාධ්‍ය සංදර්ශන පවත්වමින් පරණ චෝදනාවම කිරීම විහිළුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කාරියවසම් මහතා මෙසේද පැවසීය.

“අපි දැක්කා පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පුරාම ඔවුන් කිව්වේ රටේ සම්පත් පාලකයන් සොරා කනවා. ඒවා නවත්වන්න ඒ අයට බලය දෙන්න කියලා. එයාලා බලයට ආවාම හොරු අල්ලනවා විතරක් නෙමෙයි හොරාකාපු සල්ලිත් ආපහු රටට ගේනවා කිව්වා.

දැන් ඒ අය බලයට පත්වෙලා තියෙනවා. ඒ අනුව දැන් තියෙන්නේ තව දුරටත් මාධ්‍ය සංදර්ශන පවත්වමින් සාකච්ඡා පැවැත්වීම නොවෙයි පරීක්ෂණ පවත්වා සොරාකෑ මුදල් සොයා ගැනීමයි.

එදා ඔවුන්ගේ වේදිකාවේ කිව්වා ගුවන්යානා තුනකින් රාජපක්ෂලා උගන්ඩාවට ගෙනිච්ච ඩොලර් ආපසු ලංකාවට ගේන්නවා කියලා. අපි ආණ්ඩුවට කියනවා එහෙම නැත්නම්, ඔවුන් පිළිගත යුතුයි එදා ඔවුන් කිව්වේ බොරු කියලා.

දැන් සියලුම බලතල ඔවුන්ට ලැබිලා තියෙනවා. එහෙම තියාගෙන තවමත් රාජපක්ෂලා හොරකම් කරලා කිය කියා ඉන්නේ ඊළඟට තියෙන මහ මැතිවරණයේදීත් ඒ චෝදනාවම කරලා ජනතාව මුළා කරන්නයි. අපි විශ්වාස කරනවා ජනතාව තව දුරටත් මේ බොරුවලට අහුනොවෙයි කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *