නව ජනපති සමග වැඩ කරන්න සූදානම්…! – IMF…

September 25, 2024 at 9:20 am | by emanisa.lk

ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

විශේෂයෙන් 2022 වසරේදී ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ මත ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟිය හැකිවනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙක් පැවසීය.

ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුව විසින් එකඟ වී ඇති ණය සහනවල සංසන්දනාත්මක තහවුරු කිරීමට යටත්ව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයන් අතර ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවක් ප්‍රකාශ කිරීම සාදරයෙන් පිළිගන්නා බවද එම ප්‍රකාශකයා කීවේය.

මෙය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් නියෝජනය කරන බවද සඳහන් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවදුරටත් කියා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහනේ තුන්වන සමාලෝචනය සිදුකරන කාලය ගැන ප්‍රායෝගිකව හැකි ඉක්මනින් නව රජයේ පරිපාලනය සමග සාකච්ඡා කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *