රජරට වකුගඩු රෝගයට විසඳුම් සොයනු වෙනුවට වතුර ෆිල්ටර් සහ රුධිර කාන්දුකරන යන්ත්‍ර විකුණමින් බහුජාතික සමාගම් එම රෝගයෙන් ද ලාභ උපයමින් ඇතැයි ජන අරගල සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා පවසයි.
“අනුරාධපුර කියන්නේ ජනතාව බරපතළ විදිහට වකුගඩු රෝගයෙන් පීඩාවට පත් වෙලා ඉන්න දිස්ත්‍රික්කයක්. අපි දන්නවා හරිත විප්ලවය කියාගෙන ආව බහුජාතික සමාගම් තමයි අද අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතිවෙලා තියෙන තත්ත්වයට වගකියන්න ඕන.
ඔවුන් රසායනික පොහොර පළිබෝධ නාශක විශාල පරිමාණයෙන් හඳුන්වා දුන්නා. අපිව වෙළෙඳපොළක් බවට පත් කරගෙන අවසානයේ බාල වර්ගයේ පොහොර කෘෂි රසායනවල ගොදුරක් බවට අපිව පත්කළේ ඔය බහුජාතික සමාගම්. ඒ හරහා එක පැත්තකින් ජෛව පද්ධතියට කොයි තරම් හානියක් වුණාද කියන එක අපි අත්දැකීමෙන් දන්නවා.
හැබැයි අදටත් මේ රටේ පොහොර ප්‍රතිපත්තිය හදද්දී ඒ බහු ජාතික සමාගම්වලින් සහ මෙරට මහා පරිමාණ සමාගම්වල බලපෑමෙන් මිදෙන්න අපිට බැරි වෙලා. බීජ පනත ගෙනාවේ තනිකරම සමාගම්වල වුවමනාවට. එතනදී ගොවියා කියන සාධකයට දූවිල්ලක තරම්වත් වටිනාකමක් දුන්නෙ නෑ. සමාගම්වල කම්කරුවකු බවට පමණක් ඔවුන් පත් කිරීමේ න්‍යාය පත්‍රය ඒක තුළ ඒ නීති ඇතුළෙ තිබුණෙ.
වකුගඩු රෝගයට ඇත්ත උත්තරේ මොකද්ද කියලා ගොවි ජනතාව දිගින් දිගටම ප්‍රශ්න කරද්දිත් අපේ දැනුම් පද්ධතිය තවම අසමත් ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න. ඒ ඇයි? ඒක අනිත් අතට නැවත සම්බන්ධ වෙනව දේශපාලනයට. අපේ රටේ පර්යේෂණ ක්ෂේත්රයට දළ ජාතික නිෂ්පාදනයෙන් 0.1% ත් අඩු ප්‍රමාණයක් තමයි වෙන් කරන්නෙ. එහෙම රටක ඇත්තටම ජනතාව පීඩා විඳින ප්‍රශ්නෙකට උත්තරය හොයා ගැනීමත් බරපතළ ප්‍රශ්නයක් තමයි.
උත්තරයක් හොයනවා වෙනුවට ඔන්න සමාගම් ගේනවා වතුර ෆිල්ටර්. වකුගඩු රුධිර කාන්දුකරණය සඳහා මැෂින්. සමාගම්වලට වකුගඩු රෝගය හොඳ කරන්න අවශ්‍යතාවක් නෑ. ඔවුන්ට ඕන මේ ලෙඩේ පාවිච්චි කරලා තව තවත් ලාභ උපයන්න.
අපි මේ ඉන්නේ වෙළෙඳපොළ මූලික වුණ, ලාභය මූලික වුණ සමාජයක. ධනකුවේරයන්ට අපේ රටවල් පේන්නෙ වෙළෙඳපොළක් විදිහට විතරයි. අධ්‍යාපනය සඳහා වෙන් කිරීම් කප්පාදු කරන්නේ අධ්‍යාපනය විකුණන්න. ඒ තමයි ලාභය මූලික වෙළෙඳපොළ ආර්ථිකය. රෝගය නිවාරණ කරනවා වෙනුවට රෝගය ව්‍යාප්ත කරන්න තමයි සැලසුම් සකස් වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ කොල්ලකාරී ආර්ථිකයක් නෙවෙයිද?
අද මැතිවරණ වේදිකාවේ කයිවාරු ගැහුවට ඔය කිසිම අපේක්ෂකයෙක් සතුව මේ ප්රශ්නය විසඳන්න පුළුවන් වැඩපිළිවෙළක් නෑ. කොලඹ 7 රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන්නෙත්, කෙසෙල්වත්ත ප්‍රේමදාස නියෝජනය කරන්නෙත්, තඹුත්තේගම අනුර කුමාර නියෝජනය කරන්නෙත් මේ කොල්ලකාරී ආර්ථික ප්‍රතිපත්තිය. මේ කොල්ලකාරී ආර්ථික ප්‍රතිපත්තිය සහ ධනකුවේර බහුජාතික සමාගම් නියෝජනය කරන කිසිම අපේක්ෂකයෙක් ජනතාවට පක්ෂපාතී නෑ.
අපි ජන අරගල සන්ධානය විදිහට දේශපාලනය කරන්නේ සමස්ත ක්රමයම වෙනස් කරන්න. මේ කොල්ලකාරී ආර්ථික ක්‍රමය වෙනුවට සමාජවාදය ස්ථාපිත කරන්න. එතනින් එහාට අධ්‍යාපනය සඳහා සියයට හයක් දක්වා ප්‍රතිපාදන වෙන් කරන්න. ඒ වගේම ලාභය මූලික කරගගත් සෞඛ්‍යය ක්‍රමයක් වෙනුවට සේනක බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම රෝග නිවාරණය සඳහා ප්‍රමුඛස්ථානය දෙන සෞඛ්‍ය සේවයක් ගෙන එන්න. මේ ප්‍රශ්නෙට ඇත්ත උත්තර තියෙන්නේ එතන.”
ඊයේ (13) ජන අරගල සන්ධානයේ අනුරාධපුරය දිස්ත්‍රික් ජනාධිපතිවරණ ජන රැලිය අමතමින් නීතිඥ නුවන් බෝපගේ මේ බව කීය.