රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන්ට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (17) පෙත්සමක් ඉදිරිපත් කෙරිණි.
සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා විසින් පෙත්සම ගොනු කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව ප්රඥප්තියේ පැහැදිලිව සියලු සිරකරුවන් මනුෂ්‍යයන් වශයෙන් සලකන බවත් ඔවුන්ට හිමිවිය යුතු වරප්‍රසාද ලබා දිය යුතු බවත් එමගින් පෙන්වා දෙයි.
යම් පුද්ගලයකු අධිකරණයෙන් වරදකරුවකු කරන තුරු ඔහු නිර්දෝෂි පුද්ගලයකු වශයෙන් සලකන බවද ඒ අනුව ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සියලු මූලික අයිතිවාසිකම්වලට හිමිකම් ලැබෙන බවද පෙත්සමේ සඳහන් වෙයි.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි ව්‍යවස්ථාව අනුව ඡන්දය භාවිතයට සුදුසු හා නුසුදුසු සිරකරුවන් වර්ගීකරණය කරමින් සිරකරුවන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමේ වරප්‍රසාදය ලබා දී ඇති බවද පෙත්සමේ සඳහන් ය.