නීත්‍යනුකූල වෛද්‍යවරියක් ලෙස පෙනී සිටිමින් බාල වයස්කාර දරු දෙදෙනෙකුට ඖෂධ ලබා දුන් බව කියන වෛද්‍ය සිසුවියක් ජුලි 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඊයේ (15) නියෝග කළේ ය.
සැකකාර සිසුවිය බරපතළ වරදක් සිදු කර ඇති බව පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් දක්වන කරුණුවලින් හෙළි වන බවත් මෙය මහාධිකරණයෙන් දඬුවම් ලබා දිය හැකි අධි චෝදනීය වරදක් බවත් මහේස්ත්‍රාත්වරයා පැවසීය.
තව ද, සැකකාර වෛද්‍ය සිසුවිය සිදු කර ඇත්තේ, මනුෂ්‍ය ඝාතන වරදකට සමාන වරදක් බව ද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ ය. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සේවය කරන බව කියන ප්‍රසව හා නාරි වේද වෛද්‍ය විශේෂඥවරියකගේ දියණියක් එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
නීතීඥයන් වන පැමිණිලිකාර යුවළගේ 6 හා 4 යන වයස්වල පසුවන දරු දෙදෙනාට කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව ඇති වීම හේතුවෙන් ඉකුත් 3 වන දා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත දරු දෙදෙනා රැගෙන ගොස් ඇති බවත් එහිදී සැකකාර වෛද්‍ය සිසුවිය නීත්‍යනුකූල වෛද්‍යවරියක් ලෙස පෙනී සිටිමින් දරුවන් දෙදෙනා පරීක්ෂා කර බලා ඔවුන්ට ප්‍රතිකාර ලබා දී ඇති බවත් නීතිඥවරු අධිකරණයට දැන්වූහ.
සැකකාර වෛද්‍ය සිසුවිය නියම කරන ලද ඖෂධ දින 5ක් දරුවන්ට ලබා දී ඇති නමුත් ඔවුන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඇති බව ද නීතිඥවරුන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය. පසුව පැමිණිලිකාර නීතිඥ අඹු සැමි යුවළ දරු දෙදෙනාව වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර ඖෂධ ලබා දීමෙන් අනතුරුව දරු දෙදෙනාගේ ජීවිත අවදානම පහව ගොස් ඇති බව ද නීතිඥවරුන් අධිකරණයට දැන්වූහ.
පළමු වසරේ අධ්‍යාපනය ලබන එක් දරුවෙකු දින කිහිපයක් පාසල් නොයෑම නිසා එම දරුවා අධ්‍යාපනය ලබන පාසලෙන් වෛද්‍ය වාර්තාවක් ඉල්ලා ඇති බව ත් ඒ අනුව අදාළ වෛද්‍ය වාර්තාව ලබා ගැනීම සඳහා නීතිඥ යුවළ වෛද්‍යවරියක ලෙස පෙනී සිටි වෛද්‍ය සිසුවිය රෝහලේදී හමු වී ඇති බවත් නීතිඥවරු අධිකරණය හමුවේ පැවැසූහ.
ඒ අනුව, සැකකාර වෛද්‍ය සිසුවිය වෙනත් වෛද්‍යවරයකුගේ රබර් මුද්‍රාවක් යොදා ඇය අත්සන් කර ඇති බව ද ඒ පිළිබඳව සැක සිතූ නීතිඥ යුවළ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකින් පසුව මෙම වංචාසහගත සිද්ධිය අනාවරණය වී ඇති බව ද නීතිඥවරු අධිකරණය හමුවේ වැඩිදුරට ත් කරුණු දක්වමින් පැවසූහ.
මෙම වෛද්‍ය සිසුවිය අවසන් වසරේ විභාගය සමත්ව ඇති නමුත් ඇය උපාධි සහතිකයවත් ලබා ගෙන නොමැති අයෙකු බව ත් වෛද්‍ය උපාධිය ලබා ගත් අයෙකුට සිය වෘත්තියේ නියැලිමට හැකියාව ලැබෙන්නේ රජයේ රෝහලකට අනුයුක්තව වසරක පමණ සීමා වාසික පුහුණුවකින් පසුව බව ද නීතිඥවරු පැවසූහ.
එම වෛද්‍ය සිසුවියට එවැනි ක්‍රියාවක නිරත වීමට ඉඩ සලසා දෙමින් විශේෂඥ වෛද්‍යවරියක් වන ඇගේ මව ද බරපතළ වරදක් කර ඇති බව නීතිඥවරු අධිකරණයට දැන්වූහ.
සිද්ධියට අදාළව වැල්ලම්පිටිය පොලිසිය බී වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කළ නමුත් සැකකාර වෛද්‍ය සිසුවිය අධිකරණය වෙත ඉදිරිපත් කර නොතිබූ අතර ඒ පිළිබඳව අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා වහා ම ඇයව අත්අඩංගුවට ගෙන ඊයේ දිනයේ ම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කළේ ය.
ඒ අනුව, වැල්ලම්පිටිය පොලිසිය මගින් සැකකාර වෛද්‍ය සිසුවිය ඊයේ පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේ ය.
කොළඹ නීතිඥ සංගමයේ ගුණරත්න වන්නිනායක, වීරසේන රණහේවා ඇතුළු නීතිඥවරුන් 30ක පමණ පිරිසක් පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූහ. සැකකාර වෛද්‍ය සිසුවිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ, ඇය සිය මවගේ අධීක්ෂණය යටතේ එම ප්‍රතිකාර ලබා දී ඇති බැවින් ඇය වරදක් සිදු කර නොමැති බවත් ය.