විජයදාස රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ සහ කීර්ති උඩවත්ත මහතාට ලේකම් ධූරයේ කටයුතු කිරීමට බාධා කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි එස්. වීරතුංග මහත්මිය අද (31) දින නියෝග කළාය.
එසේම විජයදාස රාජපක්ෂ මහතා සහ කීර්ති උඩවත්ත මහතා අදාල තනතුරවලට පත් කිරීම සදහා සඳහා පැවැත් වූ විධායක සභා රැස්වීම නීත්‍යානුකූල නොවන බව ද මෙහිදී අධිකරණය තීරණය කළේය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයින් වන ඉසුරු අබේවර්ධන සහ සුමිත් සොයිසා යන මහත්වරු විසින් තම පක්ෂයේ විධායක සභාව මගින් සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා සහ ලේකම් ලෙස කීර්ති උඩවත්ත මහතා පත් කරගෙන ඇති බැවින් ඒ සඳහා බාධා පැමිණවීම වළක්වන ලෙස ඉල්ලා කඩුවෙල දිසා අධිකරණය වෙත ඉල්ලීමක් කර තිබූ එම අවස්ථාවේදී ඔවුන්ට බාධා නොකරන ලෙස කඩුවෙල දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් පැනවීය.
මේ අතරතුර වග උත්තරකාර පාර්ශ්වය මගින් අදාළ වාරණ නියෝගය ඉවත් කරන ලෙස දිසා අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි. මේ සම්බන්ධයෙන් වූ ඉදිරි නඩු විභාගය ජුලි මස 09 වෙනිදා යළි කැඳවීමට නියමිතය.