පන්සල් සතු ඉඩම් අක්කර ලක්ෂ 14ක් සුද්දෝ රාජසන්තක කළා..! – අගමැති…

May 17, 2023 at 9:45 am | by emanisa.lk

මෙරට විහාරස්ථාන සතුව තිබූ අක්කර ලක්ෂ දාහතරක් බ්‍රිතාන්‍ය ආණ්ඩුව රාජ සන්තක කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ජයවර්ධනපුර මයුරපාද පිරිවෙන් මහාවිහාරයේ ශ්‍රී සුගත ශාසනවංශාලංකාර කවිධජ විමලවංශවංශාවිතංශ ධර්මකීර්ති ශ්‍රී සද්ධර්මශූරී ආචාර්ය පූජ්‍ය වලේබොඩ ගුණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය අවස්ථාවේදීය.

“අතිපූජ්‍ය වලේබොඩ නායක ස්වාමීන් වහන්සේ උත්තරීතර සම්බුදු සසුන වෙනුවෙන් ඉටුකර ඇති මහා සේවාව පිළිගනිමින් තවදුරටත් එම සේවාවේ කර්තව්‍යයන් ඉදිරියට ගෙන යන්නට අනුනායක පදවියෙන් පුදනු ලබන අවස්ථාව අපේ රටේ බෞද්ධ ජනතාවගේ සිත් සතන්වලට ලබාදෙන ශක්තිමත් දායාදයක්.

සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ධර්මයේ අර්ථය මහා සඟ රුවනටත්, සම්බුදු ශාසනයේ පැවැත්මටත්, අපේ රටේ ගිහි ජනතාව අතරටත් තැන්පත් කිරීමේ මහා වගකීමෙන් යුතුව දශක ගණනාවක් තිස්සේ අර්ථාන්විත කර්තව්‍යය කරමින් ඉටු කරන්නා වූ සේවාව දුෂ්කර කාල පරිච්ඡේදයන් හරහා ද ගමන් කළා.

ශ්‍රී ලංකා විද්‍යාලය අපේ රටේ ජාතික ඉතිහාසයේ, සහ බෞද්ධ ඉතිහාසයේ අමරණීයයි. මයුරපාද පිරිවෙන් නිර්මාතෘ අතිපූජ්‍ය බද්දේගම විමලවංශ මහනාහිමි අපේ ජාතික ප්‍රබෝධයේ අතිශ්‍රේෂ්ඨ කර්තව්‍යයක් ඉටු කළා. සංඝ පරම්පරාවක් බිහි කළා මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනින් බිහි කිරීමට කැපවුණු අතිපූජනීය ස්වාමීන් වහන්සේගේ වැඩපිළිවෙළට ශ්‍රී ලංකා විද්‍යාලය කේන්ද්‍රස්ථානයක් බවට පත් වුණා.

එදා බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාව එළි දැක්වීම සඳහාත් උන්වහන්සේ මැදිහත් වුණා. ඒ උත්තරීතර මෙහෙය වෙනුවෙන් කෘතවේදීත්වය සිහි කරනවා. සම්බුද්ධ ශාසනය සතුව තිබූ විහාරස්ථාන සතු ව තිබූ අක්කර ලක්ෂ දාහතරක් බ්‍රිතාන්‍ය ආණ්ඩුව රාජ සන්තක කළා. ඒක මේ සම්බුද්ධ ශාසන වාර්තාවේ සඳහන් වෙන එක ප්‍රධාන කරුණක්.

එදා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව පිණිස ඇති කළ යුතු ක්‍රියාමාර්ග රාශියෙන් සටහන්ව පවතිනවා. අපේ ආචාර්ය වලේබොඩ අනුනායක ස්වාමීන් වහන්සේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් විවිධ කැපවීම් කළ, එම සේවාව ඉදිරියට ගෙන යන්නට කටයුතු කළ ආකාරය ද සිහිපත් කරනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් නොව ශ්‍රී ලංකා විද්‍යාලයෙන් ද ඒ වගේම ලොව පුරා විවිධ ධර්මදූත ව්‍යාපාරයන්ට ද ගමන් කරමින් බුදු සසුන වෙනුවෙන් ඉටු කර ඇති මහඟු කර්තව්‍යය පොදු ජනතාව අතරට ගෙනයාමේ ක්‍රියාමාර්ග රාශියකට දායක වුණා.

මයුරපාද පිරිවෙන එවැනි කේන්ද්‍රස්ථානයක් ලෙස පවත්වාගෙන යාමේ වගකීම අපේ අනුනායක ස්වාමීන් වහන්සේට දීර්ඝ කාලයක් පුරා ලැබුණු ප්‍රධානතම කර්තව්‍යයක් ලෙස බාරගෙන කැපවීම අධිෂ්ඨානය සමග සංවිධානාත්මක ක්‍රියාවලියට ප්‍රදේශයේ විවිධ දායක දායිකාවන්ගේ සහයෝගයෙන් ආදර්ශමත් නායකත්වයක් ඔබ වහන්සේ විසින් ලබාදුන් බව අප සඳහන් කරන්නට ඕනේ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායාරක්ෂක සභාවේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ, විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණී ගුණවර්ධන, ජගත් කුමාර, ප්‍රදීප් උඳුගොඩ ඇතුළු දායක දායිකාවන් රැසක් සහභාගී වූහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස