ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාව රැකීමට තමා නීතියෙන් බැඳී සිටින බැවින් ඊට පටහැනිව ක්‍රියා කිරීමට නොහැකි බවත් ඒ අනුව කැඳවීමට ඉල්ලා සිටි රැස්වීම පැවත්වීමට නොහැකි බවත් එම පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාර්ථී දුෂ්මන්ත මහතා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාට ලිපියක් යවමින් දන්වා තිබේ.
අධිකරණයෙන් නිකුත් කරන ලද වාරණ නියෝගය තමන්ට මෙතෙක් නොලැබී ඇති හෙයින් එම නියෝගය ඇතුළත් කරුණු නොදැන මේ අවස්ථාවේ කටයුතු කිරීමට නීතිමය බලයක් නැති බවද වැඩ බලන මහ ලේකම්වරයා අමාත්‍යවරයාට යවා ඇති ලිපියේ වැඩි දුරටත් සඳහන්වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2018 (සංශෝධිත) ව්‍යවස්ථාවේ 16 වගන්තිය අනුව ක්‍රියා කිරීමට තමා නෛතික ව බැඳි සිටින බව ද එම ලිපියේ සඳහන් කර ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ෂාන් විජේලාල්ද සිල්වා යන අය හැර සෙසු දේශපාලන මණ්ඩල සාමාජිකයින්ට දැනුම් දී හදිසි දේශපාලන බල මණ්ඩල රැස්වීමක් කැඳවන ලෙස ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා කළ දැනුම් දීමකට පිළිතුරු සපයමින් ඔහු මේ බව පවසා ඇත.