බොරු හේතු දක්වා පළා නොයනු.. වහාම විවාදෙට එනු…! – හර්ෂ මාලිමාවන්ට යළි අභියෝග කරයි….

April 4, 2024 at 12:39 pm | by emanisa.lk

පළමුව විවාදයක් සඳහා අභියෝග කළේ සමගි ජන බලවේගය බැවින් ප්‍රථමයෙන් සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමඟ විවාදයකට පැමිණෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුවට නැවත ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමඟ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවාදයකට ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුවට නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා හත් වතාවක් ආරාධනා කළා. ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණ විවාදයකට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරලා තිබුණා.

ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුවට ඔවුන් තිදෙනකු පත් කරලා තිබෙනවා. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුවේ සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයා, මහාචාර්ය අනිල් ජයසිංහ සහ මහාචාර්ය සීතා බණ්ඩාර සිටිනවා.

මේ තිදෙනාට තමයි සමගි ජන බලවේගය විසින් විවාදයකට ආරාධනා කළේ. නමුත් දැන් ඔවුන් කියනවා ඉදිරියේදී පැමිණෙන්නේ ජනාධිපතිවරණයක්, ඒ නිසා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සහ අනුර කුමාර දිසානායක අතර විවාදයක් පැවැත්විය යුතුයි කියලා.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා අනුර කුමාර දිසානායක සමඟ විවාදයකට ඕනෑම වෙලාවක සූදානම්. නමුත් සමගි ජන බලවේගය තමයි මුලින්ම විවාදයකට ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කළේ. ඒ නිසා සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමඟ ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුව පළමුව ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවාදයකට පැමිණිය යුතුයි. ඒ වගේම ඕනෑම රූපවාහිනි නාලිකාවක එම විවාදය පවත්වන්නත් සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සූදානම්.”

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *