රන් තැටිය ඉස්සූ කතරගම කපුවෝ කපෝති..!

March 19, 2024 at 9:17 am | by emanisa.lk

රුහුණු මහ කතරගම දේවාලයේ රන් තැටිය පැහැරගෙන ගොස් පරිහරණය කරන ලදැයි චෝදනාවට දේවාලයේ ප්‍රධාන කපුවා හා ගබඩා රාළ ලෙස කටයුතු කළ චූටි කපුවාට දේවාලයට ඇතුළුවීම තහනම් කරමින් ඊයේ (18 වැනිදා) සිට සේවය අත්හිටුවීමට බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර පියවර ගෙන ඇත.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, කතරගම පොලිස් ස්ථානාධිපතිට පිටපත් සහිතව ප්‍රධාන කපුවා හා චූටි කපුවා වෙත මේ සම්බන්ධව ලිඛිතව දන්වා යවා තිබේ.

රන් තැටියේ හොරකමට ඇප ලබා සිටිය ද මෙම සිද්ධියෙන් රුහුණු මහා කතරගම දේවාලයට අපකීර්තියක් සිදුවී ඇති බවත්, බරපතල ගණයේ විෂමාචාරි ක්‍රියාවන් සහ විනය විරෝධී ක්‍රියාවන්හි නියුතු වීම නිසා බෞද්ධ විහාර දේවාලගම් පනත යටතේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බවත් එමගින් පෙන්වා දී තිබේ.

මේ අනුව විෂමාචාර සහ විනය විරෝධී කටයුතු සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පැවැත්වීමට යටත්ව කතරගම දේවාලයේ ප්‍රධාන කපුධුරන්දර සොමිපාල තිඹිලත් රත්නායකගේ ඊයේ (18 වැනිදා) සිට සේවය අත්හිටුවා තිබේ. රුහුණු මහා කතරගම දේවාල මාලිගයට ඇතුළුවීම, රාජකාරී කටයුතු සම්බන්ධයෙන් සෘජු හෝ වක්‍රාකාරයෙන් සම්බන්ධවීම ද තහනම් කරමින් සේවය අත්හිටුවා තිබේ.

මෙම සිද්ධියට චෝදනා ලද සමන් ප්‍රියන්ත නමැති කතරගම දේවාලයේ ගබඩාරාළට ද එම තහනම් ක්‍රියාත්මක වන අතර ගබඩාරාළ තනතුරට අදාළ වගකීම් සහ රාජකාරි සියල්ල දැනට කතරගම දේවාලයේ කපු ධුරයේ නියුතු අරාපක්ෂ මුදියන්සේලාගේ මුතුබණ්ඩාර යන අයට නොපමාව භාරදෙන ලෙස ද දන්වා තිබේ.

මෙම කපුවන් දෙදෙනාට එරෙහි චෝදනාවන් ඉදිරිපත් කරලීම සඳහා විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට සුදුසුකම් ලත් පරික්ෂණ නිලධාරියකු කඩිනමින් පත්කරන බව බස්නායක නිලමේ විසින් දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *