අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පංච පුද්ගල ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් තිබේ.
ඔහු කලක් නාවික හමුදාවේ සේවය කර මේ වන විට විශ්‍රාම වැටුප් ලබන හිටපු නාවික හමුදා සෙබලෙකි.
අදාළ ඝාතනයට අනුබල දීමේ චෝදනාව මත ඔහුගේ බිරිඳ සහ පියා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සිදුකළ පාපෝච්චාරණය මගින් මෙම කරුණු අනාවරණය වී තිබේ.
හෙරොයින් ග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් සමග පල්ලෙවෙල පොලිස් වසමේ පාතගම, මුද්දරගම සැඟවී සිටියදී මෙම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන්ගෙන් කරනු ලබන ප්‍රශ්න කිරීම්වලදී සැකකාර සෙබළා ජනවාරි මස 21 වන දින බෙලිඅත්ත ප්‍රදේශයට ගොස් 22 වන දින තවත් වෙඩික්කරුවන් දෙදෙනෙකු සමග මෙම ඝාතනය සිදු කර ඩුබායි රාජ්‍යය වෙත පළාගොස් ඇති බව අනාවරණය කර ඇත.
ඒ සඳහා ඩුබායි රාජ්‍යයේ සිටින නිපුන නමැත්තා විසින් ගුවන් ටිකට්පත් සකසාදී ඇති බවටත් කරුණු අනාවරණය වී ඇත.
පාතාල කල්ලි නායක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින හරේන්ද්‍ර ගුණතිලක නොහොත් හර්ෂ නමැත්තාගේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව ද පොලීසිය පවසයි.