යුද සමයේ අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත උතුරේ පදිංචි කරනවා…! – ජනපති…

January 7, 2024 at 9:51 am | by emanisa.lk

ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා ආගමික සංහිඳියාව ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

උතුරේ යුද්ධයෙන් අහිමිවූ ආදායම් නැවත උතුරට ලබා දීමේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීමට අපේක්ෂා කරන බව පැවසු ජනාධිපතිවරයා එහිදී ආගමික නායකයන්ට සිදුකළ හැකි කාර්යභාරය අතිමහත් බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (06) පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උතුරු පළාතේ සර්ව ආගමික නායකයන් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

උතුරු පළාතේ ආරක්ෂක හමුදාව යටතේ පවතින ප්‍රදේශවල ඇති කෝවිල් හා පල්ලි පිළිබඳ ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත්, එම ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණ කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම සර්ව ආගමික නායකයන් සහ නල්ලූර් කෝවිලේ භාරකරුවන් කැමති නම් නල්ලූර් කෝවිලට වඩා විශාල කෝවිලක් ඉදි කිරීමට කටයුතු කළ හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ක්‍රිස්තියානි පල්ලිවල තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බවත් විශේෂයෙන් මඩු දේවස්ථානයේ ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

මුස්ලිම් ජනතාව යුද සමයේ මෙම ප්‍රදේශ අතහැර ගිය බවත්, ඔවුන්ට නැවත පදිංචි වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *