මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකට මරණ තර්ජන කරමින් රුපියල් පහළොස් ලක්ෂයක කප්පම් මුදලක් ලබාගත් සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයන් තිදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (28) අත්අඩංගුවට ගෙන ඇත.
බ්ලූමැන්ඩල් සංඛ නමැති පාතාල නායකයාගේ නම පාවිච්චි කරමින් මෙම සංවිධානාත්මක පිරිස ජනක රත්නායකට මරණ තර්ජන කර මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.
තමන් බ්ලූමැන්ඩල් සංඛ නමැති පාතාල නායකයා බව කියමින් ජනක රත්නායකට දුරකථන ඇමැතුමක් දී ජනක රත්නායක ඝාතනය කිරීමට රුපියල් අසූ ලක්ෂයක මුදල් කොන්ත්රාත්තුවක් තමන්ට ලැබී ඇති බවට ද එම කොන්ත්රාත්තුව ක්රියාත්මක නොකිරීමට නම් රුපියල් පහළොස් ලක්ෂයක මුදලක් ලබාදිය යුතු බවට ද තර්ජනය කර තිබේ.
එහිදී බියට පත්ව ඇති ජනක රත්නායක එම කප්පම් මුදල සංවිධානාත්මක කල්ලියට ලබාදී ඇති අතර මේ පිළිබඳව කිරුළපන පොලිසියට පැමිණිල්ලක් ද කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කොළඹ අපරාධ කොට්ඨාසය පසුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.