නිලන්තගෙන් පාස්කු ප්‍රහාරය ගැන ඇසීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්…! – සිරිල් ගාමිණී පියතුමා…

September 21, 2023 at 2:21 pm | by emanisa.lk

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාර්ලිමේන්තුවට ගෙන්වා පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරුණු ඉදිරිපත් කිරීම හා දේශන පැවැත්වීම උත්තරීතර පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කිරීමක් යැයි කාදිනල්තුමන්ගේ මාධ්‍ය අධ්‍යක්‍ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසයි.

නිලන්ත ජයවර්ධන යනු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතුව සිටි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් නිර්දේශ වූ පුද්ගලයෙකු බවයි, පියතුමා පෙන්වා දෙන්නේ.

කොපමණ ජනාධිපති විමර්ශන කොමිසම් දැමුවද පාර්ලිමේන්තු තේරීම් කාරක සභා හා පාස්කු ප්‍රහාරය පිළිබඳව සෙසු කමිටු පිහිටුවූවත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවී නොමැති බවත් විශ්වසනීය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමකගේ නිරීක්‍ෂණය යටතේ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් කළ යුතු බවත් කොළඹ අගරදගුරු නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී පියතුමා සඳහන් කළේය.

මෙවැනි ක්‍රියාවන් නිසා වන්නේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයා යෑමක් නොව එය යටගැසීමක් යැයි ද පැවසූ පියතුමා රට නොමඟ යැවීමක් පමණක් බව ද කීවේය. මෙවැනි චෝදනා එල්ලවූ නිලධාරීන් හා වන්දි නියම වූ නිලධාරීන් ගෙන්වා මන්ත්‍රීවරුන්ට කරුණු දැක්වීම තුළින් සිදුවන්නේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් යැයි ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *