මේ රජයට කලා උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්න බැරි වුවද ගුණාත්මකභාවයෙන් බාල බිත්තර ජනතාවට ලබා දෙන වැඩපිළිවෙළ නතර කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මේ බංකොලොත් රටේ පවා ගුණාත්මකභාවයෙන් පහළ, කල් ඉකුත් වූ විදේශීය බිත්තර අඩු මුදලකට ගෙන්වා වැඩි මිලකට සමාජයට ලබා දී මහා බිත්තර ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ද විපක්ෂ නායකවරයා චෝදනා කරයි.
මෙය බරපතල සමාජීය කාරණාවක් බැවින් අදාළ වගකිවයුතු පාර්ශ්ව ජනතාවට පිළිතුරක් ලබා දිය යුතු බවත් මෙය රාජ්‍ය ප්රතිත්තියක්ද යන්න හෙළිකළ යුතු බවත් ඔහු පවසයි.
ඊයේ (01) රැකියා විරහිත උපාධිධාරී එකමුතුව සමග සිදු කළ සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේය.
මේ මොහොත වන විට අපේ රටේ රැකියා විරහිත උපාධිධාරින් 30000කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා.
ඒ අතර බහුතරයක් කලා උපාධිධාරීන් බවත් මොවුන්ගේ මේ රැකියා ප්‍රශ්නයට හරියාකාර තිරසර විසදුමක් ලබා දෙන්න රජය අපොහොසත් වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
රට බංකොලොත් වී ඇති නිසා රැකියා ලබා දෙන්න බැහැ කියන එක උපාධිධාරීන්ට ලබා දිය යුතු සුදුසු පිළිතුර නොවන බවයි විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරන්නේ.