අසීරු කාල පරිච්ඡේදයක රටත්, ජනතාවත් වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සියලු දෙනාගේ සහය හිමිවිය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමි පවසති.
ඊයේ (29) පස්වරුවේ මහනුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අස්ගිරි විහාරස්ථානයට පැමිණි අනුනායක හිමි බැහැදුටු අවස්ථාවේ එහිමියන් මේ බව ප්‍රකාශ කළහ.
එහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව ඉඩම් පිළිබඳ නීතියක් වසර 20කට පෙර සම්මත කර ගෙන තිබුණා. එහි සංයුතිය වෙනස් කිරීමට අප කටයුතු කළා. සෑම පළාතකින් ම, එක් අයෙකු බැගින් නියෝජිතයන් 9 දෙනෙක් සහ මධ්‍ය ආණ්ඩුව නියෝජනය කරමින් විවිධ තනතුරු දරණ 12 දෙනෙකු ඒ සඳහා පත් කර තිබෙනවා.
ඊට අමතරව රටේ ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තික් සැකසිය යුතු යි. ඒ අනුව ඉඩම් භාවිතය පිළිබඳව නිශ්චිත නිගමනවලට පැමිණිය හැකි යි. ඉඩම් සම්බන්ධයෙන් වෙනත් සංශෝධන කිසිවක් මෙහිදී අප සිදු කර නැහැ. ඉඩම් පිළිබඳ නීති සම්පාදනය කිරීම ජාතික මට්ටමින් සිදු කළ යුතුයි.
එය ක්‍රියාත්මක කිරීම පළාත් සභාවට ලබා දෙනවා. ජාතික ඉඩම් කොමිසම ගන්නා තීරණය අනුව එම වැඩ කටයුතු ඉදිරියට පවත්වාගෙන යා යුතුයි.”
හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.