දුම්රිය මාර්ග දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ තබා ගනිමින් දුම්රිය සේවය සඳහා විදේශීය ආයෝජකයන් එක්කර ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.
මෙරට දුම්රිය සේවය ශක්තිමත් කිරීම සහ විදුලි දුම්රිය සේවා පහසුකම් මෙරට ජනතාවට ද ලබා දීමේ අරමුණ ඇතිව මෙම සැලසුම් යෝජනා වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව දුම්රිය දෙපාර්තමේන්තුවද ප්‍රතිව්‍යුහගත කොට අධිකාරියක් කිරීමට රජය විසින් තීරණය කර ඇති අතර ඒ සඳහා චීන, ඉන්දීය, ජපාන ආයෝජකයන් සමගින් සාකච්ඡා ද සිදුව ඇත. මෙම විදේශීය සමාගම් විසින් ඒ ඒ රටවල්වල දියුණු දුම්රිය සේවාවක් සපයන පාර්ශ්ව ද වේ.
මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව මාසිකව රු. බිලියනක පමණ ආදායමක් උපයන අතර එය ඩීසල් මිලට ගැනීමට පමණක් ප්‍රමාණවත් වෙයි.