කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී වකුගඩු ශල්‍යකර්මයකින් පසු තුන් හැවිරිදි දරුවෙකු මියයාමේ සිදුවීම වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් සිදුවූ බවට දරුවාගේ මව්පියෝ චෝදනා කරති.
වකුගඩු ආශ්‍රිත ශල්‍යකර්මයකින් පසු විෂබීජයක් ශරීරගත වීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3යි මාස 03ක් වූ පිරිමි දරුවෙකු ඊයේ (27) මිය ගියේය.
එම දරුවාගේ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතින බවට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන වම් වකුගඩුව ඉවත් කළ යුතු බවත් දකුණු වකුගඩුව නීරෝගී තත්ත්වයේ පවතින බවත් නිර්දේශ කර තිබිණි.
එම දරුවාගේ මව්පියන් පවසන්නේ, නීරෝගී දකුණු වකුගඩුවත් ශල්‍යකර්මය අතරතුර ඉවත් වී ඇති බවට වෛද්‍යවරුන් පැවසූ බවයි.
වකුගඩු දෙකම නොමැති වීම හේතුවෙන් වකුගඩුවක් බද්ධ කිරීම සිදුකරන තෙක් රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සඳහා යොමු කර සිටි දරුවා, විෂබීජයක් ශරීරගත වීමෙන් මියගොස් තිබිණි.