කැළෑ ප්‍රදේශවල මාර්ග දෙපස ගැවසෙන වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ එය වරදක් වන බවයි.
කැළෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මහා මාර්ගවල ගමන් ගන්නා වාහන මඟින් මාර්ගය දෙපස ගැවසෙන වන අලින් සඳහා ආහාර ලබාදීම නිසා එම සතුන් මාර්ගයට පැමිණීමට පුරුදු වී සිටින අතර මාර්ගයේ ගමන්ගන්නා වාහනවලට බාධා කරමින් ආහාර ලබා ගැනීමට ද පෙළඹී තිබේ.
මේ හේතුවෙන් කැළෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මහ මාර්ගවල ගමන්ගන්නා අවස්ථාවල දී වන සතුන්ට ආහාර ලබාදීමෙන් වැළකී සිටින ලෙසයි, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.