අපට IMF නොයා සැල්වදෝරය වගේ චීනයට යන්න තිබුණා…! – විමල්…

July 5, 2023 at 5:48 pm | by emanisa.lk

ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින පාකිස්ථානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගොස් චීනයේ උපකාර ඉල්ලීමට තීන්දු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

“දැන් බලන්න, පාකිස්තානය අද අපි වගේම බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණපා තිබෙනවා. IMF එක ඔවුන්ට කියනවා, ‘ශ්‍රී ලංකාව ආදර්ශයට අරන් ණය ගෙවීම නොහැකියි, කියා ප්‍රකාශයට පත් කරන්න’ කියලා. නමුත් පාකිස්තානය එහෙම ‘IMF වළට’ වැටෙන්න සූදානම් නැහැ. ඔවුන් කියන්නේ, ‘චීනය දෙසට හැරීම හැර අපට වෙනත් උත්තරයක් නැහැ’ කියලයි. මේ රටේ ආර්ථික ඔස්තාර්ලා කියන්නේ, ‘මෙවැනි ගෙවුම් ශේෂ හිඟයකදී IMF යෑම හැර වෙනත් උත්තරයක් නැහැ’ කියලයි.

නමුත් අද එල් සැල්වදෝරයේ සිදු වන දෙය දෙස බලන්න. චීනය, එල් සැල්වදෝරය වෙනුවෙන් ඔවුන්ගේ විදේශ ණය වාරිකය ණයහිමියන්ට ගෙවනවා. එල් සැල්වදෝරය සහ චීනය අතර ගිවිසුමක් එනවා, එල් සැල්වදෝරයට දරාගත හැකි ආකාරයටත් චීනයට පාඩුවක් නොවන ආකාරයටත් තම ප්‍රතිව්‍යුහගතකරණය කළ ණය වාරිකය චීනයට යළි ගෙවීමට.

මේ උත්තරේ අපි ශ්‍රී ලංකාවට අදාළව පෙන්වා දුන්නාම ඇතැම් ‘බක පණ්ඩිතයන්’ එය හාස්‍යයට ලක් කළා. ශ්‍රී ලංකාව, චීනයෙන් මෙවැනි ඉල්ලීමක් කළොත් චීනය ඊට එකඟ නොවී ඉඳියි ද? එල් සැල්වදෝරයට වඩා චීනයට ශ්‍රී ලංකාව වටිනවා. ශ්‍රී ලංකාවේ තිබෙන විශාලතම විදේශ ආයෝජනය වන ‘පෝට් සිටියට’ මුදල් ආයෝජනය කර ඇත්තේ චීනයයි.

ශ්‍රී ලංකාව බංකලොත් රටක් වුණාම කිසිවකු එයිද පෝට් සිටියේ ආයෝජනය කිරීමට? පෝට් සිටියට ඉක්මනින් ආයෝජකයන් ආවොත් චීනයට පමණක් නෙවෙයි ප්‍රතිලාභ අත් වෙන්නේ, අපට විදේශ විනිමය උපයා දෙන ඊළඟ උල්පත වන්නේ පෝට් සිටියයි. පෝට් සිටියට ආයෝජන ආවොත් අපේ අම්මලා පිටරට යැවීම නතර වෙලා, විදේශ රටවල හොඳ රැකියා කරන පිරිස්වලටත් පෝට් සිටියේ රැකියා අවස්ථා ලැබෙන තත්ත්වයක් උදා වෙනවා.”

හංවැල්ල පහත්ගම ‘ඉසුරු ඉන්’ උත්සව ශාලාවේ දී පසුගියදා (01) පැවැති “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද? – සම්මන්ත්‍රණයට එකතු වෙමින් විමල් වීරවංශ මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *