ජනතාව නොමඟ යවන ආණ්ඩුවක් සහ මහ බැංකු අධිපතිවරයකු ගැන ජනතාවට සත පහක විශ්වාසයක් නැතැයි ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් පවසයි.
ඒ අද (01) පාර්ලිමේන්තුවේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමිනි.
දේශීය ණය කපාහරින්නේ නැතැයි ආණ්ඩුව පුන පුනා කීවේ පට්ටපල් බොරුවක් බවයි ඔහු පෙන්වා දෙයි.
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ කමිටුවෙන් ඉදිරිපත් වූ පූර්ව කොන්දේසියක් ලෙස දේශීය ණය කපා හරින බව කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව සඳහන් කර ඇතැයි ද විජිත හේරත් සඳහන් කළේය.
පෞද්ගලික අංශයේ රැකියා කරන ජනතාව උපයාගත් මුදල් පිළිබඳ බලහත්කාරයෙන් තීන්දු තීරණ ගැනීමක් මෙහිදී සිදු වන බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.
ඔවුනට මේ දුක් ගැනවිල්ල කියන්නට තැනක් නැති හෙයින් දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පිළිබඳ නඩුවක් ගොනු කර ඇතැයිද ලබන 13 වැනි දා ඒ නඩුව අහන බැවින් හරි නම් මෙවැනි විවාදයක් පැවැත්වීමත් සුදුසු නැතැයි විජිත හේරත් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.