ගෝඨාභය රාජපක්ෂ වෙනුවට චමල් රාජපක්ෂ මෙරට ජනාධිපති වූයේ නම් රට මේ තත්ත්වයට පත් නොවීමට ඉඩ තිබූ බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.
උන් වහන්සේ මෙම අදහස් පල කරන්නේ සතිඅන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවට එක්වෙමිනි.
‘රාජපක්ෂවරු අමුතුවෙන් ඔසවා තබන්න දෙයක් නෑ. රාජපක්ෂවරුන්ට මේ සමාජයේ ඉදිරියට යන්න විශාල ඉඩක් තියෙනවා. ඔබ කියන විදියට දැන් සිද්ධ වෙන්නෙ මෙරටේ සිදුවන හැම කාරණයක්ම රාජපක්ෂවරු පිටදාලා ඔවුන් විනාශ කරන්න දරන උත්සාහයක්.
රාජපක්ෂවරු සියයට සියයක්ම නිවැරදියි කියල අපි කියන්නෙ නෑ. සමහර අය පාස්කු ප්‍රහාරයත් රාජපක්ෂවරුන්ගේ වැඩක් කියල කියන්න උත්සාහ කරනවා අපි දැක්කා. එවැනි දේවල් කරන එක නිවටකමක් කියලයි මම හිතන්නෙ.
රාජපක්ෂලාට සුදුහුණු ගාන්න අපි කිසිසේත්ම ලෑස්ති නෑ. ඒ අය වැරදි නම් වැරදියි කියල අපි කියලත් තියෙනවා. ඉදිරියටත් එහෙම කියනවා. නමුත් මෙ රටේ සිදුවන හැම වැරද්දක්ම රාජපක්ෂවරු පිට පටවනවාට අපි එකඟ වෙන්නෙත් නෑ.
අපිත් කියනවා ගෝඨාභය රාජපක්ෂ ගැන අපි තිබ්බ විශ්වාසය එයා සම්පූර්ණයෙන්ම විනාශ කළා. මේ රටේ බහුතර ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය විනාශ කිරීම ගැන ඔහු වගකියන්න ඕනේ. ඒකට එයා දඬුවම් විඳින්නත් ඕනේ.
අදටත් අපිට සමහර අය දුරකථනයෙන් කතා කරල දොස් කියනවා. හාමුදුරුවෝ කියන දේ අහල ගෝඨාභය විශ්වාස කළා කියල. නමුත් මෙතෙක් මම මේ පිළිබඳව හෙළි නොකළ රහසක් කියන්නම්. එදා ජනාධිපතිවරණයට නාම යෝජනා දෙනකොට මම යෝජනා කළේ චමල් රාජපක්ෂට නාමයෝජනා දෙන්න කියලයි.
නමුත් ඒක එහෙම වුණේ නැති නිසාත් ගෝඨාභය ආරක්ෂක ලේකම්වරයා විදියට රටට කළ සේවය ගැනත් හිතලා අපි ගෝඨාභය රාජපක්ෂ ජනපති කරන්න මහන්සි වුණා. මම අදටත් විශ්වාස කරන්නෙ එදා චමල්ට ජනාධිපතිවරණයට නාමයෝජනා ලැබුණ නම් අද රට මේ තත්ත්වයට පත් නොවෙන්න ඉඩ තිබුණා.