සිරිපා වඳින්න ගිය මවක් අතරමග දරුවෙක් බිහි කරයි…!

February 12, 2023 at 2:55 pm | by emanisa.lk

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක ඇයගේ දෙවන බිළිඳිය ශ්‍රී පාද – හැටන් මාර්ගයේ ඉඳිකටුපාන ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රියේ බිහි කර ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

ගත වූ දෙදින තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී පාද වන්දනාවේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි ඇත. එම පිරිසට රත්නපුර – මාරපන ප්‍රදේශයේ සිට පැමිණි එක්දරු මවක ශ්‍රී පාද උඩ මළුව දක්වා කරුණා කිරීමට ඉඳිකටුපාන ප්‍රදේශයේ දිගු වේලාවක් නතර වී සිටිය දී ඊයේ රාත්‍රී 7.30ට පමණ ශ්‍රී පාද මාර්ගයේදී ම ඇයගේ දෙවන දරු ප්‍රසුතිය සිදු කර ඇති බව වාර්තා වෙයි.

එම අවස්ථාවේ දරු ප්‍රසූතියට ඇය සමග ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවන් පිරිසක් සහ වෙනත් ප්‍රදේශවලින් වන්දනාවේ පැමිණ සිටි තවත් කාන්තාවන් පිරිසක් සහයෝගය දක්වා ඇත.

නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ, ශ්‍රී පාද උඩ මළුවට භාණ්ඩ රැගෙන යන කම්කරුවන්ගේ සහ ඉඳිකටුපාන පොලිස් මුරපොළේ නිලධාරීන්ගේ සහය ගෙන දරු ප්‍රසූතිය සිදු කළ කාන්තාව සහ සිඟිත්තිය ආධාරක ඇඳන් මතින් ආරක්ෂිතව නල්ලතන්නිය දක්වා රැගෙන එන ලෙස ය.

ඒ අතරතුර ගිලන් රථයක් නල්ලතන්නිය වෙත කැඳවා ඇති පොලිස් ස්ථානාධිපතිවරයා මව සහ දරුවා දික්ඔය මූලික රෝහලට යොමු කර ඇත.දරු ප්‍රසූතිය සිදු කළ මව සහ අලුත උපන් සිඟිත්තිය නිරෝගීව දික්ඔය මූලික රෝහලේ සිටින බව එම රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.

පසුගිය දෙදින තුළ හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරීමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටි බව ත්, එම වන්දනාකරුවන් වැඩි පිරිසකට ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට නොහැකි වූ බව වන්දනාකරුවෝ පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *