විදුලිය නොකපන බවට ලංවීමෙන් ශ්‍රේෂ්ඨාධීකරණයට ප්‍රතිඥාවක්…!

February 2, 2023 at 3:25 pm | by emanisa.lk

අද (02) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධීකරණයට පවසයි.

ඒ, උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන බවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලි බල මණ්ඩලය ඇතුළු පාර්ශ්ව ලබා දුන් එකඟතාව කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනු කළ නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේය.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවා තිබිණි.

එහිදී පැමිණිල්ල සම්බන්ධයෙන් තම සේවාදායකයින් උපදෙස් ලබා ගැනීම සඳහා කාලය අවශ්‍ය බැවින් පෙත්සම හෙට (03) දින කැඳවන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා තිබේ.

කෙසේ වෙතත්, එහි දී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ පෙන්වා දී ඇත්තේ, මෙය හදිසි කටයුත්තක් බැවින් කල් දැමීම සුදුසු නොවන බව ය.

ඒ අනුව, වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ නීතිඥවරුන්ට කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම අද දිනයේ යළි කැඳවන බවට නියෝග කර ඇත.

පෙත්සම යළි කැඳවූ අවස්ථාවේ විදුලි බල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ, පෙත්සම හෙට දින සලකා බලන තෙක් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *