තවත් යහපාල නඩුවක් පුහුවෙයි..! ආචාර්ය ගොඩහේවා නිදොස් කොට නිදහස්…!

January 26, 2023 at 1:34 pm | by emanisa.lk

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපති වශයෙන් කටයුතු කරමින් සිටියදී “තාරුණ්‍යට හෙටක්” සංවිධානය සඳහා එම කොමිසමේ අරමුදලින් රුපියල් ලක්ෂ 50ක් ලබාදීමෙන් රජයේ මුදල් සාපරාධී පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා එම තීන්දුව ලබා දුන්නේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කළ සාක්ෂි ප්‍රමාණවත් නොවන බවය.

ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් නියෝගයේ සඳහන් වුණි. නිදහස් කරන ලද සෙසු විත්තිකරුවන් වන්නේ විනිමය හා සුරැකම්පත් කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ රොනී ඊබ්‍රහිම් ය.

නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් එම නඩුව ගොනුකර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *