ආණ්ඩුවට හෝ පොහොට්ටුවට පළාත් පාලන ඡන්දය කල් දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම මැතිවරණ කොමිසමේ වගකීමක් බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.
රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අමාත්‍යාංශවල පවා ප්‍රතිපාදන කප්පාදු කර ඇති අවස්ථාවක මැතිවරණ කොමිසම ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවා ඇත්තේ ඔවුන්ට මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ඇති නිසා විය හැකි බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ නාම යෝජනා අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සහ පොහොට්ටුව කුමන්ත්‍රණය කරන බවට විපක්ෂය නගන චෝදනා පදනම් විරහිත බවත් මැතිවරණයට අනෙක් සියලු ම දේශපාලන පක්ෂවලට වඩා ශක්තිමත්ව මුහුණ දීමට හැකි ශක්තිමත් කණ්ඩායමක් සිටින බැවින් ආණ්ඩුවට හෝ පොහොට්ටුවට මෙවර මැතිවරණය කිසිදු අභියෝගයක් නොවන බවත් ඇමැති රණතුංග එහි දී තව දුරටත් කීවේය.