ඖෂධ හදිසි මිල දී ගැනීම් ජාවාරම යළිත් කරළියට..! සමාගමේ වියදමින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය ඉන්දියාවට…!

December 26, 2022 at 8:53 am | by emanisa.lk

මිනිසුන් සඳහා සුදුසු යැයි සායන පරීක්ෂණ හෝ රසායනාගාර පරීක්ෂණ මගින් ඖෂධ නියාමන අධිකාරිය තවමත් අනුමත කර නැති ඖෂධ වර්ග විසි අටක් ඉන්දියානු සමාගමකින් ටෙන්ඩර් පටිපාටියෙන් ද බැහැරව හදිසි මිලදීගැනීම් යටතේ ගෙන ඒමට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කටයුතු කරමින් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසන්නේ එසේ ගෙන්වීමට උත්සාහ කරන ඖෂධ වර්ග 28න් 12ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඒවා බවයි.

ඖෂධ තොග අවසන් වන්නේ නම් හදිසි මිල දී ගැනීම්වලට යෑමට පෙර ටෙන්ඩර් කැඳවීමක් නොකළේ ඇයි ද යන්න ප්‍රශ්න සහගත යැයි ද ඔහු කීවේය.

හදවත් රෝගීන්ට ලබාදෙන එන්නත් වර්ගයකින් එන්නත් ලක්ෂ දහයක් ටෙන්ඩර් පටිපාටිය යටතේ ගෙන ඒමට කටයුතු කරමින් ලක්ෂ පහක් රටට ගෙනැවිත් තිබියදීත් එම වර්ගයේ එන්නත් දෙලක්ෂ පනස්දහසක් හදිසි මිලදී ගැනීම් යටතේ මෙම ඖෂධ 28ක ලැයිස්තුව හරහා ගැනීමට සූදානම් වන්නේ යැයි ද හෙතෙම පැවසීය.

මෙම ඖෂධ මිලදී ගැනීමට හදන කෞෂික් යන ඉන්දියානු සමාගමට ලංකාවට ඖෂධ එවීමට කිසිදු නීතිමය බලපත්‍රයක් නැතැයි ද හෙතෙම කීවේය. මෙම ඖෂධ මිලට ගන්නේ කුමන මිල ගණන් යටතේ දැයි කවුරුත් දන්නේ නැතැයි ද හෙතෙම කීවේය.

කෙහෙළිය ඇමැතිවරයා නතරවන කාමරයට දිනකට ඩොලර් 400ක් ගෙවන බව ලියකියවිලි අනුව තහවුරු වන්නේ ඇයි ද පැවසූ ජයගොඩ එම මුදල් ගෙවන්නේ අදාළ ඉන්දීය සමාගමෙන් වීම බරපතළ සැකයට තුඩුදෙන කාරණයක් යැයි ද කීවේය.

එම පක්ෂයේ නුගේගොඩ කාර්යාලය පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *