ශ්‍රී ලංකාව තුළ ආර්ථික හා දේශපාලනික ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසයි.
“මාර්තු මසදී පැවැත්වූ ආසියානු සමුළුවේදී අපි මුණගැසුණා. අප දෙදෙනා මුණ ගැසෙන දෙවන අවස්ථාව මේ. ලබන වසරේදී අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවයේ 75වැනි සංවත්සරය සැමරීමට අප සූදානම්.
ඒ වගේම ගෝලීය වශයෙන් සහ කාලගුණ විපර්යාස වැනි ගැටලුවලදී අපි එක්ව කටයුතු කරනවා. එහිදී ශ්‍රී ලංකාව, එවැනි ගැටලු විසඳීම සඳහා උපකාර කිරීමට වැදගත් පියවර රැසක් අනුගමනය කරමින් සිටිනවා.
එමෙන්ම ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අභියෝග මධ්‍යයේ අමෙරිකාව ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම අප විසින් අමෙරිකානු ඩොලර් මිලියන 240ක පමණ ණය සහ ආධාර ශ්‍රී ලංකාව වෙත ලබාදී තිබෙනවා.
ආර්ථික ස්ථාවරත්වය පමණක් නොව දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමටද අවශ්‍ය සහාය ලබාදීමට අප කටයුතු කරනවා.”
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සමග වොෂින්ටන් නුවර පැවැති සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.