පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ කිසිදු ප්‍රකාශයක් රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විකාශය නොකිරීමට පකිස්තාන විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනය නියෝග කර තිබේ.
ඉම්රාන් ඛාන් පකිස්තානයේ, සිය රැලියක දී වෙඩි ප්‍රහරකයට ලක් වීමෙන් පසු පුසුගිය දා රෝහලේ සිට ප්‍රථම වරට මාධ්‍ය ඇමතුවේ ය.
එහි දී ඔහු ප්‍රකාශ කළේ,”මට ප්‍රහාරයක් එල්ල වන බව මම රැලියට පෙර දැන සිටියා. මාව මරන්න වෙඩි උණ්ඩ 4ක් එල්ල කළා,” යනුවෙනි.
“පුද්ගලයින් හතර දෙනෙක් මාව මරා දැමීමට කුමන්ත්‍රණය කළා. මා ළඟ වීඩියෝවක් තියෙනවා, මට යමක් සිදුවුවහොත්, වීඩියෝව මුදා හරිනවා.” යැයි ඔහු එම මාධ්‍ය හමුවේ දී පැවසීය.
එහි දී ඔහු, තමාට වෙඩි තැබීම ගැන එරට වත්මන් අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්, එරට අභ්‍යන්තර කටයුතු ඇමති රානා සනාවුල්ලා සහ බුද්ධි අංශ නිලධාරි මේජර් ජෙනරල් ෆයිසාල් නසීර්ට චෝදනා කළේ ය.
මෙලෙස ඔහු විසින් සිදු කරන ලබන ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව හේතු කොට ගෙන එරට විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනය අදාළ තීරණය ගෙන ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මෙම වෙඩි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව ය.
නොවැම්බර් 3 වන දා විරෝධතා පාගමනක් අතරතුරදී පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක් විය.
පකිස්තානයේ නැගෙනහිර වසිරාබාද් නගරයේදී පැවැති අදාළ විරෝධතා පාගමන අතරතුර එල්ල කර ඇති වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ පාදයකටට තුවාල සිදු වුණු අතර එය “ඔහුව ඝාතනය කිරීමට ගත් උත්සහයක්” බව හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සහයකයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.