රාජපක්ෂ චෞර වළල්ල මුහුදු මංකොල්ලකාරයින් නැවක් ඇල්ලුවා වගේ රට අල්ල ගෙන ඉන්නවා…! – අනුර දිසානායක…

October 5, 2021 at 10:06 am | by emanisa.lk

ලෝකයේ කොහේ හෝ කළු සල්ලි සම්බන්ධයෙන් වාර්තාවක් එළියට එනවා නම් ලංකාවේ දේශපාලකයන් සහ ඔවුන්ගේ අනුග්‍රහය ලබන අයගේ නම් එළියට එන බවත් පැන්ඩෝරා වාර්තාව ද එවැනි එකක් බවත් ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

දේශප්‍රේමි සළුපිළි පොරවාගෙන සිටින රාජපක්‍ෂ චෞර වළල්ල මුහුදු මංකොල්ලකරුවන් පිරිසක් නැවක් අත්පත් කරගෙන සිටින ආකාරයට රට අත්පත් කරගෙන සිටින බවත් ජවිපෙ කියන දේ ඇසීමට සූදානම් නැති කවුරුන් හෝ සිටිනවා නම් ජාත්‍යන්තර වශයෙන් හෙළිදරව් වන මෙම තොරතුරු ගැන හෝ අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රිවරයා අවධාරණය කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ, මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ, බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයාගේ ඥාති සොහොයුරියක් මෙන්ම ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ සහ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නිපුණ රණවකගේ ඥාතිවරියක් වන නිරූපමා රාජපක්ෂ ගැන කරුණු හෙළි වී තිබෙන රුපියල් දස ලක්ෂ 35,000ක් විවිධ බැංකු සහ දේපළ තුළ සඟවා තිබෙන බව හෙළිදරව් කර තිබෙන බවත් ඔහු පවසයි.

තවද පාකිස්තානයේ ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශකයකුගේ පුතෙක් ඇතුළු කිහිප දෙනෙක් පිළිබඳවද චෝදනා එල්ල වී තිබෙනවා සේම ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කර වහාම නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කරන තිබෙන බව පැවැසූ අනුර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ මේ හෙළිදරව්ව සම්බන්ධයෙන් ඉක්මනින් ප්‍රකාශයක් කළ යුතුව තිබෙන්නේ රටේ ජනාධිපතිවරයා වන නමුත් ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ මුදල් ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් කිසිවක් නොකියන බවයි.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ ඊයේ (04) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස