ගුවන්තොටුපළ නිලධාරීන් මහා ජාවාරමක…! දත්ත පද්ධති වසා කෝටිපති ජාවාරම්කරු රටින් පන්නයි…!

October 21, 2022 at 9:34 am | by emanisa.lk

ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කළ ප්‍රධාන පෙළේ ප්‍රකෝටිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ගුවන් තොටුපොළේ දත්ත පද්ධතියෙන් මිදී රටින් පිටව යෑමට ඉඩ දුන් සිද්ධිය සම්බන්ධව ඉහළ පෙළේ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත මෙම රතු වරෙන්තුකරු ගැන දැනුම් දී තිබියදී රහසිගතව රටින් පිටවී ඇතැයි හෙළි වී ඇත්තේ ඩුබායි රටට ඇතුළු වීමට ගිය මොහොතේ එරට ගුවන්තොටුපොළෙන් නැවත හරවා එවූ මොහොතේය. ආගමන විගමන ගැටලු මත කියා ඔහු නැවත මෙරටට එවා තිබේ.

කාලිම් අර්ෂාඩ් නමැති මෙම ජාත්‍යන්තර වරෙන්තුකරු ගුවන් තොටුපොළෙන් පිටව ගොස් ඇත්තේ ඉකුත් ඔක්තෝබර් 05 දා අලුයම 3.40 ට ය. ශ්‍රී ලංකාවේ නේවාසික වීසා ලබාගෙන මෙම මාලදිවයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙරටට පැමිණි පසුව මාලදිවයින් රජය රතු වරෙන්තු නිකුත් කර තිබේ. ඒ ඔහු එරට මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ජාවාරම්කරු බවට අනාවරණ වීමෙන් පසුවය.

මෙම සැකකරුට ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ඇති නිසා රටින් වෙනත් රටකට පිටව යෑමට පැමිණියහොත් වහාම නවත්වාගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දැනුම් දී තිබී ඇත.

එසේ තිබියදී මෙම සැකකරු රටින් පැනගෙන ඇති බව අනාවරණ වන්නේ ඩුබායි රටින් කටුනායකට පිටුවහල් කළ පසුවය. එහිදී විමර්ශන කණ්ඩායම්වලට සැක නොහිතෙන පරිදි මෙම සැකකරු යළි රට ඇතුළට ගැනීමට ආගමන විගමන නිලධාරින් උත්සාහ ගන්නා බවට හෙළි වූ පසු ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරින් ගුවන් තෙටුපොළේ රැඳවුම් කාමරයක විශේෂ ආරක්ෂාවක මත මොහුව රඳවා තිබේ. ගුවන් තොටුපොළ සභාපති මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරිගේ උපදෙස් මත පොලිස් ආරක්ෂාවක්ද එම රැඳවූ කාමරයට යොදවා ඇත.

ඉන්පසුව මෙරට ජාත්‍යන්තර පොලිස් ශාඛාව මගින් මාලදිවයින් ආරක්ෂක අංශ දැනුම්වත් කර විශේෂ කණ්ඩායමක් ගුවන් යානයකින් කටුනායකට ගෙන්වා සැකකරුව විශේෂ ආරක්ෂාව සහිතව ගුවන් යානයට භාර දී තිබේ.

ගුවන් තොටුපොළේ දී දත්ත පද්ධතියෙන් අසු නොවී යාම සම්බන්ධව කරන විමර්ශනයේදී එදින රාජකාරී කළ ආගමන විගමන නිලධාරින්ගෙන් ප්‍රශ්න කිරීමේදී දත්ත පද්ධතිය ක්‍රියා විරහිත වූ බව දැනුම් දී ඇත. ප්‍රකෝටිපතියකු වූ මාලදිවයින් ජාවාරම්කරුට රටින් පැන ගැනීම සඳහා දත්ත පද්ධතිය අක්‍රිය කර ඔහුට යාමට ඉඩ සලසා ඇතැයි එල්ලවන චෝදනා මත ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත විමර්ශනයක් ඇරඹී තිබේ.

කටුනායක ගුවන්තොටුපොළට ඩුබායි සිට මෙරටට පැමිණි පසු යළිත් රට ඇතුළට ගැනීමට උත්සාහ කළ ආකාරය ගැන විමර්ශන අරඹන ලෙස උපදෙස් දී තිබේ. ගුවන් තොටුපොළේ සේවය කරන දූෂිත නිලධාරින් කිහිප දෙනකුට සීදුව ප්‍රදේශයේ ඒජන්සි කාර්යාලවල දී රටින් නීති විරෝධීව පන්නන පුද්ගලයන් මුණගස්වා ඔවුන් සිටින කවුන්ටර් ඔස්සේ රටින් පන්න ජාවාරමක්ද ක්‍රියාත්මක වන බව ද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *