මේ වන විට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්ත රජය දැඩි ආරක්ෂාවක් ලබා දී ඇතැයි වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිවරයාට රැඳී සිටින හෝටලයෙන් පිටව නොයන ලෙස බැංකොක් පොලිසිය උපදෙස් දී ඇතැයි බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කරයි.
ගෝඨාභය රාජපක්ෂ ගමන් ගත් ගුවන් යානය තායිලන්තයේ ෆුකෙට් ගුවන්තොටුපළ වෙත ගොඩ බැස්සවීමට සැලසුම් කර තිබුණත් ආරක්ෂා හේතු මත එය මුවාන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇත.
මුවාන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, තායිලන්ත ආරක්ෂක අංශ බැංකොක් නගරයේ ස්ථානය හෙළි නොකළ හෝටලයකට රැගෙන ගොස් ඇත.
සිවිල් ඇඳුමෙන් සැරසි තායිලන්ත ආරක්ෂක අංශ නිලධාරීන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔහු රැඳී සිටින හෝටලයේ යොදවා ඇතැයි ද බැංකොක් පෝස්ට් පුවත්පත් වාර්තා කළේය.