09 වෙනිදා වර්ජනයෙන් විදුලියට රු. මිලියන 320ක පාඩුවක්…! ඒ බරත් ජනතාව මත…!

July 5, 2022 at 9:30 am | by emanisa.lk

විදුලිබල වෘත්තීය සමිති මඟින් පසුගිය ජුනි 09 වැනි දා දියත් කළ වැඩ වර්ජනය අතරතුර පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය මිල දී ගැනීම නිසා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 320ක අලාභයක් සිදුව ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

මෙම අලාභය සිදුව ඇත්තේ වැඩවර්ජනය දින විමලසුරේන්ද්‍ර, කැනියොන්, පැරණි ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, ඉහළ කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, උකුවෙල සහ බෝවතැන්න යන ජලාශවල ජලය විදුලි උත්පාදනය නොකර වගා බිම්වලට මුදාහැර පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය මිල දී ගැනීම නිසාය.

මේ නිසා ජුනි 9 වන දින විදුලිය ලබා ගැනීමට සැලසුම් කර නොතිබූ සොජිට්ස් සහ වෙස්ට්කෝස්ට් පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට කටයුතු කර තිබෙන අතර ඒ සඳහා පිළිවෙළින් රු.මි. 128.4 ක් සහ රු.මි. 191.6 ක් විදුලිබල මණ්ඩලයෙන් වැය කිරීමට සිදුව තිබේ.

අනුමත නොකළ විදුලි කප්පාදුවක් ජුනි 9 දා සිදුකිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම සිදුකළ පරීක්ෂණ වාර්තාව ඊයේ (4) නිකුත් කෙරිණි. එම පරීක්ෂණ වාර්තාව අනුව එදින සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට නිර්දේශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *