මීළඟ පෙට්‍රල් නැවක් ගොඩ බෑමේ දිනයක් හෝ සැලසුමක් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් නැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙරට ඩොලර් හිගතාව හේතුවෙන් පෙට්‍රල් නෞකා වෙත මුදල් ගෙවීමට නොහැකි වීම මීට හේතුවයි. අද වන විට මෙරට පෙට්‍රල් සඳහා දීර්ඝ පෝලිම් ඇති වී ඇති අතර පෙට්‍රල් ටොන් 10,000ට ද වඩා අඩු වී ඇත. මෙරට සාමාන්‍ය දිනක පෙට්‍රල් භාවිතය ටොන් 3000කිි.
ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ලැබීමට තිබූ පෙට්‍රල් නෞකාවක් විසි එක් වෙනිදා පැමිණීමට නියමිතව ඇතත් එයද පැමිණීම මේ වන විට අවිනිශ්චිත වී තිබේ. තවත් පෙට්‍රල් නෞකාවක් කොළඹ වරායෙන් පිටත නැංගුරම් ලා ඇති අතර ඊට ගෙවීමට මුදල් නොමැති වීම මත එහි ඉන්ධන ගොඩබෑම තව දුරටත් ප්‍රමාද වෙමින් ඇත.
මේ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරන්නේ රටට ඉන්ධන ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවුවද සැපයුම්කරුවන් කිසිවෙකු ඉදිරිපත් නොවීමේ තත්ත්වයක් මතුව ඇති බවයි. සැපයුම්කරුවන්ට මේ දක්වා ඩොලර් මිලියන 735 ක ණයක් ගෙවීමට තිබීම මීට හේතු වී ඇතැයිද ඔහු පැවසීය.
සංස්ථාව ඉන්ධන මිල දී ගැනීමට ටෙන්ඩර කැඳවුව ද සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීමෙන් ඉදිරියේදී ඉන්ධන සැපයුම දැඩි අභියෝගයක් වනු ඇති බව ද හෙතෙම තව දුරටත් කියා සිටියේය.