අද විශ්වවිද්‍යාල සිසුන් කුලී හමුදාවක් වගේ…! දේශපාලන පක්ෂවල උවමනාවට රට ගිනි තියනවා..! – නියෝජ්‍ය කතානායක…

May 21, 2022 at 9:05 am | by emanisa.lk

විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන් අද හැසිරෙන්නේ කුලී හමුදාවක් ලෙස බවත්, සමහර දේශපාලන පක්ෂ ඒ තරුණ තරුණියන් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පහත් ආකාරයෙන් යොදා ගෙන සිටින බවත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසයි.

පාර්ලිමේන්තුවේදී ඊයේ (20) හෙතෙම මේ බව පැවසීය.

ප්‍රචණ්ඩකාරීන් පසුගිය දිනවල රාජපක්ෂ නම සඳහන් වූ සියලු බස් රථවලට හානි කළ බව පැවසූ නියෝජ්‍ය කථානායකවරයා කොළඹ සිට සූරියවැව දක්වා මගීන් රැගෙන ගිය තමාගේ සහෝදරයාගේ රාජපක්ෂ නම සඳහන් වූ බස් රථයට ද ප්‍රචණ්ඩකාරීන් හානි කර එහි ගමන් ගත් සාමාන්‍ය ජනතාවට ද පහර දී ඇති බව ප්‍රකාශ කළේය.

ප්‍රචණ්ඩකාරීන් විනාශ කළ වාහන පහක් බම්බලපිටිය පොලිසියේ ඇති බවත් ඉන් තුනක්ම සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය කළ බස් රථ බවත් ඔහු කීවේය.

අසූ අට අසූ නවය කාලයේ මෙවැනි දේවල් වුණේ රාත්‍රී කාලයේදී බව පැවසූ අජිත් රාජපක්ෂ, දැන් මේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වන්නේ මහ දවල් බව ද ප්‍රකාශ කළේ‍ය. මහජන නියෝජිතයන් ඉලක්ක කර ගත් ත්‍රස්ත සමාජයක් බිහි වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මේ සිදු වීම් යට වුණු සියලු දේ සෙවිය යුතු බවත් ගින්නක් පවතින අවස්ථාවක සමහර මාධ්‍ය ආයතන කටයුතු කළේ සදාචාරයක් නැති ආකාරයට බවත් අජිත් රාජපක්ෂ පැවසීය. සමහර මාධ්‍ය ආයතනවලත් අසත්පුරුෂයන් සිටින බව ඔහු කීවේය.

ප්‍රචණ්ඩකාරීන් දකුණු පළාතෙන් පැමිණි එස්.පී. ලෙස සඳහන් වූ සියලු වාහනවලට විචාරයකින් තොරව පහර දුන් බවත් බොරු වෙස් ගත් දේශපාලන පක්ෂවල සැබෑ නිරුවත මින් හෙළි වූ බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *