මේක දේශපාලනය කරන වෙලාවක් නොව රට ගැන සිතා හැමෝම වැඩ කළ යුතු වේලාවක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
“වාරි සෞභාග්‍යා” වැව් අමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ II වන අදියරේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා අරලියගහ මන්දිරයේ දී ඊයේ (30) මේ බව සඳහන් කළේය.
කුරුණෑගල, නිකවැරටිය ආසනයේ කොබෙයිගනේ, මීගස්වැව ප්‍රදේශයේ ඇති මහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් මෙහි දී මාර්ගගත ක්‍රමයට ආරම්භ කෙරිණි. එම අවස්ථාවට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ද එක්වූහ.
මීට සමඟාමීව හිරියාල මැද්දෙකැටිය වැව, පොල්පිතිගම කැන්දගොල්ල වැව, බැමිණිගල්ල මසුරන්කෝට්ටේ වැව සහ ගිරිබාව නික වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර, එම වැව් ඇතුළු වැව් අමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ II වන අදියර යටතේ අද දින රටපුරා වැව් 100ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය.
වාරි සෞභාග්‍යා වැව් අමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ II වන අදියරයේ සමාරම්භක උත්සවයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.
අද මාර්තු 30 වෙනිදා මට අමතක නොවන දවසක්. අද මගේ පියාගේ උපන් දිනය. මේ වැඩසටහනත් එක්ක එය සම්බන්ධ වෙන්නේ 1945 දි නාමයෝජනා පත්‍රයට මගේ පියා අත්සන් කළේ කුඹුරේ ඉඳල වක්කඩෙන් අත සෝදාගෙන ඇවිත්.
මිහිපිට වාසය කරන සෑම ජීවියෙකුගෙම පැවැත්ම රැඳී තිබෙන්නෙ ජලයත් එක්ක. ජලය තමයි අපේ ජීවයේ පදනම වෙන්නෙ. අපි අතීතයට ගියාම, ලෝකයේ සෑම ශිෂ්ටාචාරයක්ම ගොඩනැගෙන්නෙ, දියුණු වන්නේ ජලයත් එක්ක. අපේ රට ගත්තත් එහෙමයි. එදා අතීතයේ පටන් මේ රට දියුණු කරන්න තබපු හැම පියවරකම කෘෂිකර්මාන්තයත්, වාරි කර්මාන්තයත් එකිනෙකට බැඳී තිබුණා.
එදා අපේ සංස්කෘතියේ පදනම වුණෙත් ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි කියන සංකල්පය. මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ මේ රට ගොඩනැගුවේ අහසින් වැටෙන එක දිය බිඳක්වත් නිකරුනේ මුහුදට ගලා යා නොදී ප්‍රයෝජනයට ගන්න ඕන කියලයි. මේ හැමදේකම අවසන් අරමුණ වුණේ දියුණු වාරිකර්මාන්තයක් ඔස්සේ රටට කෘෂිකාර්මික නවෝදයක් ඇති කිරීම.
වැව් විතරක් නෙමෙයි, ඒ හා බැඳී පවතින ඇළ වේලිත් අපේ අතීත මුතුන් මිත්තන් අතින්ම නිර්මාණය වුණා. යෝධ ඇළ වගේ ලෝකය මවිත කළ නිර්මාණ ගැන අදත් කතාබහට ලක්වෙනවා. අපේ රටේ කෘෂිකාර්මාන්තය රැකුනේ මේ විදියේ දියුණු වාරි තාක්ෂණයක් අපට උරුම වුණ නිසයි.
මේ විදියට අපේ රටේ කෘෂිකර්මාන්තය පෝෂණය කරන වැව් අමුණු හා වාරි ඇළ මාර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. එහෙත් කාලයෙන් කාලයට මේවායේ නිසි නඩත්තුවක් සිදුවුණේ නැහැ. මේ නිසා ජලය නිසි කලට වගාවට නොලැබෙන විට ඇතමෙක් කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙන්නත් මේක හේතුවක් වුණා. අපි දන්න විදිහට මේ ආකාරයට කාලයක් තිස්සේ නිසි ලෙස නඩත්තුවක් නොකෙරුණු ග්‍රාමීය කුඩා වැව්, අමුණු හා වාරි ඇළ මාර්ග ඇතුළත් එල්ලංගා පද්ධති පනස් දාහක් විතර අපේ රටේ තියෙනවා.
වාරිමාර්ග නිලධාරින් කියන විදියට හැම අවුරුද්දෙම මෝසම් වැස්ස අවසන් වෙනකොට ග්‍රාමීය වාරි පද්ධති දාහක් විතර කැඩිල බිඳිලා හානි වෙනවා. මේවා නිසි කලට නඩත්තු කරන්න ඕනෙ. ඒත් නිශ්චිත දැක්මක් නොමැතිකම නිසා මේ වැව් අභාවයට ගිහිං තිබුණා.
මේ විදියට වැව් අමුණු ඇළ වේලි කැඩිල බිඳිල ගියාම වගාවන්ට අවශ්‍ය ජලය දෙන්න විදියක් නැතිව යනවා. මේ නිසා පුරන් වෙච්ච කුඹුරු එක්ලක්ෂ පනස් දාහක් විතර රට පුරා තියෙනවා කියලයි මහවැලි අමාත්‍යාංශය කියන්නෙ. ඒ විතරක් නෙමෙයි, දේශගුණික විපර්යාස නිසා කෙටිකාලීනව ලැබෙන මහ වැසි හා දිගු කාලීන නියං තත්ත්වයන්ටත් අපට මුහුණ දෙන්න සිදුවෙනවා.
මේ තත්ත්වයට මුහුණ දෙන්න නම් අපේ රටේ සමස්ත ජල රැඳවුම් ධාරිතාව වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක්. ග්‍රාමීය වාරි පද්ධතියේ ධාරිතාව සියයට10 ත් 20ත් අතර ප්‍රමාණයකින් අපි වැඩිකර ගන්න ඕන.
එහෙම කළොත් ගංවතුර පාලනය කරගන්න වගේම නියං තත්ත්වයන්ට මුහුණ දෙන්නත් අපට යම් අස්වැසිල්ලක් ලැබෙනවා.
ජාතික ආහාර නිෂ්පාදනය ඉහළ නංවන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කළ ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායත් මේ ගැන විශේෂ අවධානයක් යොමු කරල තිබුණා.
ඒ අනුව තමයි ග්‍රාමීය කුඩා වාරි හා පානීය ජල පද්ධති 5000ක් යලි සක්‍රීය කරන්න වාරි සෞභාග්‍යා වැඩසටහනට අපේ රජය මුලපුරන්නේ. අද ඔබේ ප්‍රදේශයේ වැව ඔබට ප්‍රයෝජනයට ගත හැකි පරිදි පිළිසකර දෙනවා වගේම මේ තුළින් එදා අපේ රටේ මුතුන් මිත්තෝ කෘෂිකර්මාන්තයේ උන්තතිය උදෙසා නිර්මාණය කළ වැව් අමුණු ටික, අනාගත පරපුර වෙනුවෙන් අපට ආරක්ෂා කර ගන්න හැකියාව ලැබෙන බව විශ්වාසයි.
වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති මීට ඉස්සරිනුත් විවිධ රජයන් යටතේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. හැබැයි ඒ සම්බන්ධයෙන් විද්වතුන්ගෙන් සහ ජනතාවගෙන් විවේචන තමයි හැමවිටම එල්ලවුණේ.
වැව්වල ජලය රඳවා ගන්න තාක්ෂණයක් තියෙනවා. වැව් හාරල ගැඹුරු කළා කියල ජලය රැඳිලා තියෙන්නේ නැහැ. මේ ගැන අවබෝධයක් ඇතිවයි වාරි සෞභාග්‍යා ව්‍යාපෘතියෙන් වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනට අපි මුල පුරන්නේ. අතීත තාක්ෂණය වගේම නූතන විද්‍යාත්මක දැනුමත් අද මේ සඳහා යොදා ගන්නවා.
අද අපි ගෙවන්නෙ ආමාරු කාලයක්. රටක් විදියට අපි වසංගතයකට මුහුණ දීලා ඉතිහාසයේ අභියෝගාත්මකම කාලයට අපි මුහුණ දෙමින් සිටිනවා. දේශීයත්වයට මුල්තැන දෙන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් තමයි අපේ දැක්ම වුණේ. මේ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කළාම ග්‍රාමීය ජනතාවට කෘෂිකර්මාන්තයට තිබුණු දුෂ්කරතා රැසක් ඉවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි වැව් ටික ප්‍රතිසංස්කරණය වෙනකොට තවත් කර්මාන්ත රැසකට එමඟින් ඉඩකඩ විවර වෙනවා. මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ වුණත් යෙදෙන්න අවශ්‍ය වටපිටාව නිවැරදිව සකස් වෙනවා.
වාරි සෞභාග්‍යා යථාර්ථයක් බවට පත් කළාම ඒ තුළින් කෘෂි ආර්ථිකය පමණක් නෙවෙයි ග්‍රාමීය ආර්ථකයත් ශක්තිමත් කරන්න අපට හැකිවෙනවා. මේ විදියට රටේ ආර්ථිකය දිනෙන් දින ශක්තිමත් කිරීමයි අපට අවශ්‍යය.
අපි දන්නවා අද දුෂ්කරතා රැසකට ජනතාව මුහුණ දෙනවා. සමහරු අහනවා අපි මේවා දන්නෙ නැද්ද? නොදන්නවා වගේ ඉන්නවා ද ? කියලත්. ඒ නිසා තමයි අපි මේ වෙලාවේ සර්ව පාක්ෂික සමුළුවක් පවා කැඳවලා රට ගැන හිතලා හැමෝගෙම අදහස් අරගෙන මේ තත්ත්වයෙන් ගොඩ එන්න වේදිකාවක් නිර්මාණය කරනු ලැබුවේ.
කොවිඩ් වසංගතය අපි හිතලා නිර්මාණය කරපු එකක් නෙමෙයි. මම දැක්කා සමහරු ඒකත් අපි කරා කියලා ජනතාව උසිගන්වන්න හදනවා. අපි සූදානම් විරුද්ධ පක්ෂයේ වුණත් හොඳ ප්‍රායෝගික අදහස් අරගෙන ඉදිරියට යන්න. මේක දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. රට ගැන හිතලා හැමෝම වැඩ කළ යුතු වෙලාවක්. ඒ නිසා සර්ව පාක්ෂික සමුළුවට නාපු අයටත් ඊළඟ වතාවේ ඊට එක්වන්නැයි ආරාධනා කරනවා.
අලුත් අවුරුදු සමය ළඟ ළඟ එනවා. ඇත්ත ප්රශ්නය දැක දැකත්, හෙට අනිද්දට ඉන්ධන නැතිවෙයි. ආහාර නැතිවෙයි. හැමදේම වැඩිවෙයි කියලා බොරු බිල්ලොත් මවනවා. සමහර ප්‍රශ්න ඇතැමෙක්ගෙ උවමනාවට ජනතාවත් නොදැනිම නිර්මාණය කරපුවා. ඒකයි මම කිව්වෙ, අපි අර්බුදයක් තියෙන බව පිළිගන්නවා. රජයක් විදියට ඔබගේ ඒ දුෂ්කරතා මග හැරලා එදිනෙදා ජීවිතය ගොඩනගන්න අවශ්‍ය සහයෝගය ලබාදෙනවා යැයි අග්‍රාමාත්‍යතුමා පැවැසීය.