ඇමැතිකම් අහිමි වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ පක්ෂ 11 කණ්ඩායම යළිත් නුගේගොඩින් සටන ආරම්භ කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
මේ වන විටත් ඊට අදාල සැලසුම් සකස් කරමින් සිටින අතර බොහෝ දුරට මෙම සටන මාර්තු මස අවසානයේ දී ආරම්භ කිරීමට නියමිත බවයි, වාර්තා වන්නේ.
2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව මහින්ද රාජපක්ෂ යළි දේශපාලනයට එකතු කර ගැනීමේ මහින්ද සුළඟ ආරම්භ වූයේද නුගේගොඩිනි. ඒ සඳහා විමල්-ගම්මන්පිල ඇතුළ කණ්ඩායම පෙරටුගාමී මෙහෙවරක් ඉටු කළේය.
විමල්-ගම්මන්පිල ඇතුළු කණ්ඩායම මෙවර ද උත්සාහ කරන්නේ එවැනි විප්ලවකාරී ගමනක් ආරම්භ කිරීමටයි.
නුගේගොඩ රැළිය පැවැත්වෙන දිනයක් තවමත් තීරණය කර නොමැති අතර ඇතැම් විට මාර්තු 29 වැනිදා එය පැවැත්වීමට ඉඩ තිබේ.
මේ අතර පක්ෂ 11 කණ්ඩායම ආණ්ඩුවෙන් ස්වාධීනව පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමේ සූදානමක්ද පවතියි.
ඇමතිකම් අහිමි වූ විමල් -ගම්මන්පිල දෙදෙනාට මුල්පෙළ අසුන්වලින් සිව්වැනි පෙළ අසුන් දක්වා පසුබැසීමට සිදු වූ අතර ඊටද එම කණ්ඩායම විරෝධය පළකර තිබිණි.