ධූරයේ රැඳී සිටීම හරි ද? වැරදි දැයි විමසා හැකි නම් ජනමත විචාරණයක් පවත්වනු…! – පාඨලීගෙන් ජනපතිට අභියෝගයක්…

February 21, 2022 at 4:59 pm | by emanisa.lk

ජනාධිපතිවරයා ව්‍යවස්ථාව අනුව සිය ධූරයේ සම්පූර්ණ කාලය රැඳී සිටීම හරි ද වැරදි ද යන්න සෙවීම සඳහා හැකි නම් ජන මත විචාරයක් පවත්වන ලෙස අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (20) පස්වරුවේ හතලිස් තුන්වන සේනාංකයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

“මීට පෙර අපේ රටේ විදුලිය කපා දැමීමට සිදු වණේ වැසි නොලැබීම වැනි ස්වභාවික විපත් හේතුවෙන්, ඒත් දැන් විදුලිය කපන්න සිද්ධ වෙලා තියෙන්නෙ ඩොලර් නැති නිසයි. ඩොලර් නැති නිසා විදුලිය කපපු එකම රජය, වර්තමාන රජයයි.

රටට දරා ගත නොහැකි පොලී ක්‍රමයක් යටතේ ණය ලබා ගැනීමත් ප්‍රයෝජනයක් නොමැති ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමත්, එම ණය මුදල් වංචා කිරීමත් හේතුවෙන් වත්මන් ඩොලර් හිඟය ඇති වී තිබෙනවා.

මේ වන විට එම ඩොලර් හිඟය මඟ හරවා ගැනීම සඳහා ඖෂධ වර්ග අසූවක් මේ රටට ගෙන්වීම, කිරිපිටි, පොහොර, ඉන්ධන සහ ගෑස් ගෙන්වීම නතර කිරීමට රජය කටයුතු කර තිබෙනවා. මෙරටට අනවශ්‍ය ලෙස ගුවන් යානා මිල දී ගැනීමේ දී ලබා ගත් ණය ගෙවීමට ද පසුගියදා රජය කටයුතු කළා. මෙරට ලබා ගත් ණය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී ඩොලර් කෝටි දෙසීයක් ගෙවීමට රජයට සිදුව ඇති තිබෙනවා. එම ණය ගෙවීමට රජයට වැඩ පිළිවෙළක් නැහැ.රජයට ඇති එකම වැඩ පිළිවෙළ තමයි ජාවාරම් සිදු කිරීම.

වර්තමානයේ සිදු කරන හදිසි ඉන්ධන ඇනවුම්වලින් ද කරන්නෙත් මුල්‍ය වංචාවයි, මේ වන විට එතනෝල් කර්මාන්ත ශාලාවක් වෙනුවෙන් මොනරාගල ප්‍රදේශයේ අක්කර හැට දහසකට වඩා ප්‍රදේශයක් එළිකරමින් සිටිනවා.

පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදීන් මුදල් ගනුදෙනු කිරීම සඳහා පවත්වා ගෙන යනු ලැබූ ක්‍රමවේදයන් අනුමත කරමින් මුදල් ජාවාරම් සිදු කිරීමට රජය කටයුතු කරනවා. නව ආණ්ඩුවක් බිහිවන තෙක් කිසිදු විදේශ ආයෝජකයෙකු පෝර්ට් සිටිවල ආයෝජනය කරන්නේ නැහැ.

වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගන්නේ මේ නායකයින්ට අවශ්‍ය ලෙස මුදල් ගසා කෑමට ඇති බිය නිසයි. නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුවට නැවත බලය ලබා දෙන විසි එක්වන සංශෝධනයක අවශ්‍යතාව තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් එළඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාවට විරුද්ධව අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් වීමට නියමිතයි. මේ හේතුවෙන් ජි.එස්.පී සහනය ඉවත් කළ හොත් මෙරටට ලැබෙන ඩොලර් ප්‍රමාණය ද නැති වී යනවා.

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ පවතින වරම මත සිය ධූර කාලයේ සිටීම හරි ද වැරදි ද යන්න සෙවීම සඳහා හැකි නම් ජන මත විචාරයක් පවත්වන ලෙස අභියෝග කරන කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස