එන්නත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (23) කියා ඇත්තේ අසත්‍ය තොරතුරු බව ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.
“ඉන්දුනීසියාව 2020 නොවැම්බර් මාසයේ කොවිශීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඩොලර් 1.6 ට ලබා ගනිද්දී ශ්‍රී ලංකාව ලබා ගෙන ඇත්තේ ඩොලර් 16 කට” යැයි පාඨලී රණවක පැවසුව ද ඇස්ට්‍රාසෙනිකා නිපදවූ ඉන්දියාව එම එන්නත ලබා දීම ඇරඹුවේ 2021 ජනවාරි 19 දින බවත් ශ්‍රී ලංකාව ඉන් දින 10 කට පසු 2021 ජනවාරි 29 දින එම එන්නත ලැබුණු බවත් රාජ්‍ය අමාත්‍ය ජයසුමන පවසයි.
එසේ ම ඉන්දුනීසියාවට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලැබී ඇත්තේ ද 2021 මාර්තු 8 දින බවත් ඒ මිල දී ගැනීමෙන් නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ බවත් ඇමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, කොවිශීල්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත නිපදවන්නේ ඉන්දියාවේ සීරම් ආයතනයයි. එය ඉන්දියා රජයට ඩොලර් 4.05ට ද ඉන්දියාවේ පෞද්ගලික අංශයට ඩොලර් 7.95ට ද ශ්‍රී ලංකාවට ඩොලර් 5.25ට ද ලැබුණු අතර එය ශ්‍රී ලංකාව ලබා ගත්තේ ඩොලර් 16 ට බව පැවසීම ද අමුලික බොරුවක් බවයි.
මේ මිල තීරණය කළේ ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය පත් කළ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගිනි. ඔවුහු වාර ගණනාවක් සීරම් ආයතනය සමග සාකච්ජා කර මෙම එකඟතාවට එළඹිණි. පසුව මෙම මිල සඳහා ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමි විය.