අගමැතිතුමාට දේශපාලනයෙන් සමුගන්න අපි අවසර දෙන්නේ නෑ…! – දිළුම්..

December 30, 2021 at 5:44 pm | by emanisa.lk

කවුරු හරස් වුවත් එම බාධක ඉවත් කර 2022 වසරේ සිට ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදුකිරීමට ජනාධිපතිවරයා තීන්දුවක් ගෙන ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී ඒ බව තීන්දු කරගත් බවය.

අලදෙනිය නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (30) එක්වෙමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මේ බව පැවසීය.

“කොවිඩ් නිසා අපි බලාපොරොත්තු වුණු සමහර දේවල් කරන්න බැරි වුණා. මේ අවුරුදු දෙකේ රජය බලාපොරොත්තු වූ ඉලක්කවලට යන්න බැරි වුණා. ජනාධිපතිතුමා ලේකම්වරුන්ව කැඳෙව්වා වසර අවසානයේ සුහද හමුවකට. ඒකෙදිත් ජනාධිපතිතුමා කිව්වේ වෙනස ගැන.

ඊයේ රෑත් ජනාධිපතිතුමා සමග අපි සාකච්ඡාවක් තිබුණා. කඩිනමින් ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ වෙනස්කම් සියල්ල ක්‍රියාත්මක කරන්න අපි තදබල ලෙස තීන්දුවක් අරන් තියෙනවා. 2022 සිට ඉතිරි කාලය තුළ කවුරු හරස් වුණත් ඒ බාධක ඉවත් කරලා ඒ දේවල් කරන්න අපි තීන්දුවක් ගත්තා.”

එහිදී මාධ්‍යවේදීන්, අගමැති මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බවට පළවන වාර්තාවල යම් සත්‍යතාවයක් තිබේදැයි විමසූ අතර ඊට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එක වතාවකුත් දේශපාලනයෙන් සමුගන්න උත්සාහ කළා. ජනතාව ඒකට අවසර දුන්නේ නෑ. නැවතත් එතුමා කැමති වුණත් අකමැති වුණත් ජනතාව ඒකට අවසර දෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත කතාව. අපි අවසර දෙන්නෙත් නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස